ගොවීන්ගෙන් ලොකු ලූණු මිලට ගැනීමේ සහතික මිල රු. 60 සිට 80 දක්වා ඉහළට

මාර් 06, 2020

    ලොකු ලූණු කිලෝග්‍රෑම් 1ක් සඳහා වන රජයේ අවම සහතික මිල ඉහළ නංවා තිබේ. රුපියල් 60ක්ව පැවති එම සහතික මිල රුපියල් 80 දක්වා ඉහළ නංවා ඇත්තේ, දේශීය ගොවීන් රැකගැනීමේ පියවරක් ලෙසයි.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස කළ නියෝගයකට අනූව ලොකු ලූණු ගොවීන්ට සාධාරණ මිලක් ලබාදීමේ අපේක්ෂාවෙන් රජයේ අවම සහතික මිල ඉහළ නංවා තිබේ. ලොකු ලූණු මිල පහත වැටීම හේතුවෙන් පසුගිය කාලයේ ගොවීන්ට සාධාරණ මිලක් හිමි නොවීය. ඒ හේතුවෙන් ඔවුන් ලොකු ලූණු වගාවලින් බැහැරවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබිණ. එම නිසා ලොකු ලුණු අස්වැන්න පහත වැටුණු අතර විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ලොකු ලූණු ආනයනය වෙනුවෙන් වැය වූ බවයි, මුදල් ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. මෙම කරුණු සැලකිල්ලට ගනිමින් ලොකු ලූණු සඳහා වන රජයේ සහතික මිල ඉහළ නැංවීම හා ගොවීන් දිරිමත් කිරීම වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    දැනට පවතින ලොකු ලූණු වගාවන්හි ඵලදායීතාව ඉහළ නැංවීම මගින් නිෂ්පාදන වැඩි කිරීම සඳහා ද නව වැඩපිළිවෙළක් ආරම්භ කෙරේ.

    මහවැලි, කෘෂිකර්ම,වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන යන අමාත්‍යාංශ ඒකාබද්ධව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතයි. එහි ප්‍රගතිය මාස 6කට වර්ක අමාත්‍ය මණ්ඩලයේ දී සලකා බැලේ. පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස ලොකු ලූණු කිලෝග්‍රෑම් 1ක් සඳහා රුපියල් 190ක උපරිම සිල්ලර මිලක් ද නියම කර තිබේ.

    Last modified on සිකුරාදා, 06 මාර්තු 2020 09:09

    Latest News