ආගමික අන්තවාදයට ඉඩ දෙන්නේ නැහැ - අමාත්‍ය නිමල් සිරිපාල

ජන 12, 2020

    ජාතින් අතර අවබෝධයෙන් කටයුතු කරන්නේනම් රට ඉදිරියට ගමන් කළ හැකි යැයි අධිකරණ මානව හිම්කම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    මෙම අදහස් පළ කළේ වැලිමඩ අළුගොල්ල ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව සමග ඊයේ (12) පැවති ජන හමුවකදීය.

    තවදුරටත් අදහස් පළ කළ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා........

    “ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා ලෙසත් අධිකරණ අමාත්‍යවරයා ලෙසත් අවධාරණය කරන්නේ ජාතික සමගිය සහ ආගමික සහජීවනය නොමැතිව ඉදිරියට යන්න බැහැ. මේ දෙකම රටක් සංවර්ධනයේ දී අත්‍යවශ්‍යයි. ලෝකයේ මැද පෙරදිග ඇතුළු බොහොමයක් රටවල ආගමික හා ජාතිවාදී ගැටුම් තිබෙනවා. අපි ශ්‍රී ලාංකිකයින් වශයෙන් ජාති ආගම් අතර අවබෝධයකින් යුතුව කටයුතු කරනවා. එම තත්වය ඉතා වැදගත් බව කිව යුතුයි. රටක ආගමික සමගිය නොමැති නම් සංවර්ධනය කොතරම් තිබුණත් වැඩක් නැහැ. පාස්කු ප්‍රහාරය හේතුවෙන් ජීවිත විශාල ගණනක් විනාශ වුණා. අපේ රටේ ගොවියාට ව්‍යපාරිකයාට විශාල ලෙස බලපෑම් එල්ල කළා. ආර්ථිකයට විශාල බලපෑමක් වුණා. විශ්වාසය නැතිව ගියා. රටකට අන්තවාදය ඇතුළු වෙන්න දෙන්න හොද නැහැ.

    අපි දෙමළ ජනතාව සමග වසර 30 ක් පුරා ගැටුම්වලට මැදි වුණා. ඒක හොද තත්වයක් නෙවෙයි. අපි අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන තිරසාර සංවර්ධනයකට යොමු විය යුතුයි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රාහණයත් සමග ශක්තිමත් නායකයෙක් ලැබිලා තියෙනවා. ඒ තුළ අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කර ගත යුතුයි. ඒකේ ප්‍රතිලාභ සියලු ජනතාව ලබනවා. සියලු දෙනා අතර ප්‍රතිලාභ බෙදී යනවා. මේ රට ඉදිරියට යාමට සියලු ජාතින් අත්වැල් බැද ගත යුතුයි වගේම ඒ සාමකාමී බව ලොවට පෙන්විය යුතුයි. අපේ රට සාමකාමී රටක් ලෙස ලෝකය අවබෝධ කරගත් පසු ආයෝජකයින් සංචාරකයින් මේ රටට එනවා. අපේ රටේ ජාතික ආගමික ගැටුම් නැහැ කියන එක ලෝකයට පෙන් විය යුතුයි. ජාතික සමගිය ආගමික සහජීවනය වචනයට පමණක් සීමා විය යුතු නැහැ.ක්රි.යාවෙන් සහජීවනය තියෙන විට රට සුරක්ෂිතයි. අන්තවාදය විවිධ ආකාරයට ඇති වෙන්න පුළුවන්.ඒ සියලු ආකාරයේ අන්තවාදයට අපි විරුද්ධ විය යුතුයි.

    ජනාධිපතිවරණ කාලයේදී විවිධ දේශපාලඥයින් මාධ්‍ය මුස්ලිම් ජනතාවගේ සිත් තුළ ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබදව වැරදි චිත්‍රයක් මවලා අනවබෝධයක් ඇති කළා. ඒත් දැන් මුස්ලිම් ජනතාව එතුමා පිළිබදව අවබෝධයෙන් කටයුතු කරනවා. අපි ජාතින් අතර අවබෝධයෙන් කටයුතු කරනවා නම් අපිට ඉදිරියට යන්න පුළුවන්. එස්.ඩබ්ලිව් .ආර්.ඩී.බණ්ඩාරනායක මැතිතුමාට මරික්කාර් බදියුදීන් මොහොමඩ් වැනි මුස්ලිම් නායකයින් ශක්තියක් වුණා. මුස්ලිම් ජනතාව කොටස්වලට බෙදිලා පක්ෂ වශයෙන් බෙදී ගියහම අනවබෝධයක් ඇති වෙනවා. බදුල්ල දිස්ත්‍රික්කය තුළ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව ඉතාමත්ම සහජීවනයෙන් කටයුතු කරනවා. ඒක අපිට ශක්තියක් බව කිව යුතුයි. අපි අතර ජාතිවාදි ආගම්වාදි ගැටුම් ඇති වෙලා නැහැ. සිංහල ජනතාව තමන්ගේ ආගමික අනන්‍යතාවය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරනවා වගේම මුස්ලිම් දෙමළ සහ කතෝලික ජනතාවගේ ආගමික අනන්‍යතාවය ආරක්ෂා කර දීමට කටයුතු කළ යුතුයි. ඒත් ආගමික අන්තවාදයට ඉඩ දෙන්න බැහැ යැයි“ ද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය

    Latest News