අසහනකාරී තත්වයට වහා විසඳුම් ගෙන එන්න - අමෙරිකාව

ජූලි 10, 2022

    වත්මන් අසහනකාරී තත්ත්වයට කඩිනමින් විසඳුම් ගෙන ඒමට පියවර ගන්නා ලෙස අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකා දේශපාලන අධිකාරියෙන් ඉල්ලා සිටිනවා.

    මේ අතර, රට යථා තත්ත්වයට ගෙන ඒම ශ්‍රී ලංකාවේ සියලු දේශපාලන පක්ෂ නායකයන්ගේ වගකීමක් බවයි, යුරෝපා සංගමය සිහිපත් කරන්නේ. ශ්‍රී ලංකාවේ උද්ගතවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඊයේ රාත්‍රී නිවේදනයක් නිකුත් කළා. මේ අවස්ථාවේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ජාතියේ උන්නතිය සඳහා මිස කිසියම් දේශපාලන පක්‍ෂයක් වෙනුවෙන් ක්‍රියා නොකළ යුතු බවයි, අමෙරිකානු නිවේදනයේ දැක්වෙන්නේ. දැනට පවතින රජය මගින් හෝ ව්‍යවස්ථාදායක ලෙස තෝරාගන්නා ලබන රජයකින් වත්මන් අර්බුදය සඳහා කඩිනම් විසඳුම් හඳුනා ගැනීමේ පියවර අනුගමනය කළ යුතු බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ශ්‍රී ලංකාවේ ජනතාව, පිරිහුනු ආර්ථික තත්ත්වයන් තුළ ආහාර, ඉන්ධන හා බලශක්ති ඇතුළු මූලික පහසුකම් නොමැති වීමෙන් මුහුණදී සිටින අසහනකාරී තත්ත්වය වහා සමනය කිරීමේ අවශ්‍යතාව පෙන්වාදී තිබෙනවා.

    ශ්‍රී ලංකාවේ ජනතාවට සාමකාමීව විරෝධතා දැක්වීමට ඇති අයිතිය පිලිගන්නා අතරම, එම ක්‍රියාදාමය තුලදී ප්‍රචන්ඩකාරීත්වයට අවතීර්න වන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන පූර්ණ පරික්ෂණයක් තුළින් නීතිමය ක්‍රියාමාර්ග වෙත යොමුකළ යුතු බවයි. අමෙරිකාව පෙන්වා දෙන්නේ.

    ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය ගැන මෙරට යුරෝපා සංගම් කාර්යාලයද නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ, මෙරට සිදුවීම් ගැන යුරෝපා සංගමය දැඩි විමසිල්ලෙන් පසුවන බවයි. සාමකාමී, ප්‍රජාත්‍රන්තවාදී සහ නිසි ක්‍රමානුකූල පාලන හුවමාරුවක් සඳහා එක්ව ක්‍රියා කරන්නැයි, යුරෝපා සංගමය සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරනවා. ශ්‍රී ලංකාවට සහය වීම සම්බන්ධයෙන් ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව තක්සේරුවක යෙදෙමින් සිටින බවයි. එම නිවේදනයේ දැක්වෙන්නේ.

    Latest News