අඩක් භාවිත කළ ගෑස් සිලින්ඩර ආපසු බාර ගැනේ

ජන 26, 2022

    අඩක් භාවිත කළ ගෑස් සිලින්ඩර ආපසු බාර ගැනීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන පුවත්පත් නිවේදන අද පුවත්පත්වල පළකර ඇතැයි පාරිභෝගික සේවා අධිකාරිය අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

    මේ පිළිබඳව ජනතාව දැනුවත් කරන නිවේදන හෙට දින විද්‍යුත් මාධ්‍ය ඔස්සේ පළ කිරිමට පියවර ගන්නා බවත් එම අධිකාරිය වැඩිදුරටත් දන්වා සිටියා.

    දිවයින පුරා වාර්තා වන ගෑස් උදුන් පිපිරි යාමේ සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී පාරිභෝගික සේවා අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ මනෝහර ජයසිංහ මහතා මෙම දැනුම් දීම සිදු කළා.

    මෙම පෙත්සම අද රුවන් ප්‍රනාන්දු සහ සම්පත් විජයරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී පෙත්සම්කාර නාගානන්ද කොඩිතුවක්කු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අඩක් භාවිතා කළ හා සැක සහිත ගෑස් සිලින්ඩර ආපසු භාරගන්නා ලෙස අධිකරණය විසින් මීට පෙර ගෑස් සමාගම් වෙත නියෝගයක් නිකුත් කර ඇතත් එම නියෝගය අදාළ සමාගම් විසින් උල්ලංඝනය කර ඇති බව සඳහන් කළා.

    ඒ අනුව එවැනි ගෑස් සිලින්ඩර භාර ගැනීම ඇතැම් නියෝජිතයින් විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බවයි ඔහු සඳහන් කර සිටියේ.

    එහෙත් එවැනි පැමිණිල්ලක් ලැබී නොමැති බව සඳහන් කළ පාරිභෝගික සේවා අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ මනෝහර ජයසිංහ මහතා අඩක් භාවිත කළ හා සැක සහිත ගෑස් සිලින්ඩර ආපසු භාර ගැනීම සම්බන්ධයෙන් ගෑස් සමාගම් විසින් වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත් ඊට අදාළ පුවත්පත් නිවේදන අද පුවත්පත්වල පළ කර ඇති බවත් දන්වා සිටියා.

    යම් නියෝජිතයකු එවැනි ගෑස් සිලින්ඩර භාර ගැනීම ප්‍රතික්ෂේප කළහොත් ඒ පිළිබඳව පැමිණිලි කිරීමට දුරකථන අංකයක් ද හඳුන්වා දී ඇති බවත් රජයේ නීතිඥවරයා සඳහන් කර සිටියා.

    මෙහිදී විනිසුරු රුවන් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේ මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බවයි.

    ඒ අනුව අදාළ දැන්වීම හෙට දින විද්‍යුත් මාධ්‍ය ඔස්සේද පළ කිරිමට පියවර ගන්නා බව පාරිභෝගික සේවා අධිකාරිය අධිකරණයට දන්වා සිටියා.

    මෙම පෙත්සම අද දින කරුණු සලකා බැලීමට නියමිතව තිබුණත් ලිට්‍රෝ ගෑස් සමාගම වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර මහතා කොවිඩ් ආශ්‍රිතයෙකු බවට පත්වී සිටින හෙයින් එය සලකා බැලීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා අධිකරණ සිටියා.

    ඒ අනුව පෙත්සම සලකා බැලීම පෙබරවාරි මස 8 වන දා සිදු කිරීමටත් අධිකරණය නියම කළා.

    Latest News