ඇෆ්ගනිස්තාන භූ කම්පනයෙන් දහසකට අධික පිරිසක් මරුට...

ජූනි 23, 2022

    ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටින ඇෆ්ගනිස්තානය සඳහා ආධාර සැපයීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගෙන තිබෙනවා.

    ඊයේ එරට ඇති වූ රිච්ටර් මාපක 6.1ක භූ කම්පනයෙන් දහසකට අධික පිරිසක් මියගියා. භූ කම්පනයෙන් 1500කට වැඩි පිරිසක් බරපතල තුවාල ලැබුවා. කඩා වැටුණු ගොඩනැගිලි සහ මඩ තට්ටුවලට තවත් බොහෝ පිරිසක් යට වී සිටින බවට, සැක කෙරෙනවා. එම පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි, වාර්තා වන්නේ. මියගිය පිරිස තවදුරටත් ඉහළ යා හැකි බව, පෙන්වා දෙන එරට වෛද්‍යවරුන් පවසන්නේ, එම පිරිස අතර වැඩි සංඛ්‍යාවක් දරුවන් සිටිය හැකි බවයි. අග්නිදිග පක්ටිකා පළාත, භූ කම්පනයෙන් වැඩිම බලපෑමට ලක්වූ කලාපයයි.

    එහි ජනතාව, ආහාර සහ නවාතැන් පහසුකම් නොමැති වීමෙන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බව, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. කෙසේ වෙතත්, එම සංවිධානය සඳහන් කරන්නේ, විපතට පත් ජනතාවට අවශ්‍ය නවාතැන් සහ ආහාර යන හදිසි ආධාර ලබාදීමට මේ වනවිටත් පියවර ගෙන ඇති බවයි. වෛද්‍ය සැපයුම් රැගත් සෞඛ්‍ය කණ්ඩායම් ද පක්ටිකා පළාත වෙත ළඟා වෙමින් සිටින බවයි, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරෙස්ට් පවසන්නේ.

    මේ අතර, අධික වර්ෂාපතනයත් සමඟ වාර්තා වන ගංවතුර තත්වය හේතුවෙන් මුදා ගැනීමේ මෙහෙයුම් අඩාල වී ඇති බවයි, එරට බලධාරීන් පවසන්නේ. දශක දෙකක් තුළ එරටට බලපෑ ප්‍රබලම භූ කම්පනය මෙයයි. කෝස්ට් නගරයේ සිට කිලෝ මීටර 44ක් දුරින් ඇති වූ භූ කම්පනය පකිස්තානයට සහ ඉන්දියාවට ද දැනී තිබෙනවා. භූ කම්පනයෙන් පසු ඇෆ්ගනිස්තානය දැඩි මානුෂීය සහ ආර්ථික අර්බුදයකට ගොදුරු වී සිටින බවයි, වාර්තා වන්නේ. තලේබාන් ත්‍රස්ත සංවිධානය, රටේ පාලන බලය ලබා ගැනීමෙන් පසු අන්තර් ජාතික සහය අඩුවීම ඊට හේතුවයි.

    Latest News