දළදා පෙරහැරට කළින් විදුලිය බිල ගෙවන්නැයි ලංවිම කියයි

ජූලි 17, 2023

    මහනුවර ඇසළ මංගල්‍යය වෙනුවෙන් ලබාදෙන විදුලිය සඳහා රුපියල් එක්කෝටි තිස්දෙකලක්ෂයක් වැය වන බවට ඇස්තමේන්තු කර තිබෙනවා.

    එම මුදල කලින් ගෙවන ලෙස දන්වා විදුලිබල මණ්ඩලය ශ්‍රී දළදා මාලිගාවට ලිපියක් යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය ලබන මස 21 වැනිදා ආරම්භ වීමට නියමිතයි. එය දින 10 ක් පැවැත්වෙනවා.

    එම කාලසීමාවේ පෙරහර සඳහා භාවිත වන සියලු ප්රමදේශ ආවරණය වන ලෙසයි විදුලිබල මණ්ඩලය විදුලි බිල ඇස්තමේන්තු කර තිබෙන්නේ. එම මුදල රුපියල් එක්කෝටි තිස්දෙලක්ෂ 99,010 ක්.

    එය පෙරහැරට පෙර ගෙවන ලෙස විදුලිබල මණ්ඩලයේ මහනුවර ප්‍රධාන ඉංජිනේරුවරයා ලිපියක් මගින් ශ්‍රී දළදා මාලිගාවට දැනුම් දී තිබෙනවා. මේ පිළිබඳව අප ශ්‍රී දළදා මාලිගාවෙන් කළ විමසීමකදී දැනගත හැකිවූයේ අදළ විදුලි බිල පරිශ්‍ර කිහිපයකටම අදාල වන බවයි.

    ශ්‍රී දළදා මාලිගාව, සිව් මහා දේවාල, නගර සභා බල ප්‍රදේශ සහ බස් නැවතුම්පොළ එම පරිශ්‍රයයි.

    අදාළ විදුලිබිල ගෙවීම සම්බන්ධයෙන් සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කළ යුතු බවයි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංද දෑල මහතා කියා සිටින්නේ.

    මෙතෙක් එවැනි සාකච්ඡාවක් පවත්වා නොමැති බව දියවඩන නිලමේවරයා අප කළ විමසීමේදී සඳහන් කළා.

    Latest News