බෙංගාල බොක්ක ආශ්‍රිත අඩු පීඩන කැලබිලි ස්වභාවය තවදුරටත් (වීඩියෝ)

ඔක් 21, 2022
  • බෙංගාල බොක්ක ආශ්‍රිත අඩු පීඩන කැලබිලි ස්වභාවය තවදුරටත් පවතින බව, කාගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    එහි බලපෑමෙන් ප්‍රදේශ රැසකට අදත් තද වැසි ඇති විය හැකියි. බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම යන පළාත්වල ඇතැම් ස්ථාන වෙත මිලිමීටර 100 කට අධික තද වැසි අ‍පේක්ෂා කෙරෙනවා.

    ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ රාත්‍රී සිට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් එම ජලාශයේ වාන් දොරටු 5න් 4 ක් අද අලුයම විවෘත කර තිබෙනවා. එමගින් තත්පරයට ඝන අඩි 200 ක ජල ධාරිතාවක් කොත්මලා ඔයට මුදාහැරෙන බව, නුවරඑළි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළා. තවදුරටත් අඛණ්ඩව වැසි ලැබුණ හොත්, සෙසු වාන් දොරටුව ද විවෘත වන අතර, ඒ අනුව ජලාශයේ වේල්ලට පහළින් කොත්මලා ඔය දෙපස පදිංචිකරුවන් ඒ පිළිබඳව සැලකිල්ලෙන් පසු වන ලෙස ඉල්ලීමක් කෙරෙනවා. අධික වාර්ෂාවත් සමග හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම පස්කඳු කඩා වැටී ඇති බැවින්, එම ස්ථානවල වාහන ධාවනය එක් මංතීරුවකට සීමා කර තිබෙනවා. අප වාර්තාකරු පවසන්නේ, ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග සෙන්ට්ක්ලෙයාර් සහ ඩෙවෝන් දියඇලිවල ජල ධාරිතාව ද ඉහළ ගොස් ඇති බවයි.

    මධ්‍යම කඳුකරයේ ඉහළ ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග මහවැලි ගගේ පොල්ගොල්ල ජලාශයේ වාන්දොරටු 4 ක් විවෘත කර තිබෙනවා. මහවැලි ගගේ පහළ කොටස භාවිත කරන ජනතාව මේ පිළිබඳ අවදානයෙන් පසු වන ලෙස මහවැලි අධිකාරිය දැනුම් දෙනවා.

    විමලසුරේන්ද්‍ර ජලාශය ද මේ වන විට වාන් දමමින් පවතිනවා. කාසල්රි සහ මාවුස්සා කැලේ ජලාශවල ජල මට්ටම් පවතින්නේ පිටාර මට්ටමට ඉතා ආසන්නවයි. එම ජලාශවල ජල මට්ටම ඉහළ යාමත් සමග විමලසුරේන්ද්‍ර, කැණියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය යන බලාගාරවල ජල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කෙරෙන බව, අදාළ බලාගාරවල ඉංජිනේරුවන් සඳහන් කළා.

    හැටන් කුඩාගම ප්‍රදේශයේ නිවසක් මතට අද අලුයම පස්කන්දක් කඩා වැටීමෙන්, නිවසට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා. සිද්ධියෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නැහැ. හැටන් පොලිසිය සඳහන් කළේ, නිවසේ පදිංචිකරුවන් ආරක්ෂිත ස්ථානයක් කරා තාවකාලිකව යොමු කිරීමට පියවර ගන්නා බවයි.

    ප්‍රදේශ රැසක තවදුරටත් තද වැසි පවතින බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    Latest News