අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්‍ෂක ලබන 24 දක්වා රඳවාගෙන ප්‍රශ්න කෙරේ

ජූනි 19, 2021

    කිලෝ 52ක හෙරොයින් තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්‍ෂකවරයා ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 24 දක්වා රැඳවුම් නියෝග මත, රඳවාගෙන ප්‍රශ්න කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අවසර දී තිබේ.


    සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ, හික්කඩුව, ගෝනපීනුවල ප්‍රදේශයේදී. කළුතර දකුණ පොලිසියට අනුයුක්තව සිටි එම උප පොලිස් පරීක්‍ෂකවරයාගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටී.

    උප පොලිස් පරීක්‍ෂකවරයෙකු මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට ලැබුණු තොරතුර අනුව රහසිගතව මෙහෙයුම දියත් කර තිබේ. උප පොලිස් පරීක්‍ෂකවරයා ගාල්ල, හබරාදූව ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය තොගය ලබාගෙන මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී හික්කඩුව, ගෝනපීනුවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

    ඊට සම්බන්ධ තවත් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගැණින. ඔවුන් මට්ටක්කුලිය සහ ජා ඇල පදිංචිකරුවන්. සැකකරුවන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගත් මෝටර් රථ දෙකක් ද පොලිස් බාරයට ගනු ලැබීය.

    Last modified on සෙනසුරාදා, 19 ජූනි 2021 19:36

    Latest News