විපක්ෂයේ චෝදනාව ටෙලිකොම් සමාගම ප්‍රතික්ෂේප කරයි

ජන 07, 2021

    ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සන්නාමය වෙනස් කිරීමට රුපියල් බිලියන දෙකක් වැයකළ බවට විපක්ෂනායකවරයා පසුගියදා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය අසාත්‍ය හා පදනම් විරහිත බව එම සමාගම පවසයි.

    අදාළ මුදල් විදෙස් රටවල අතරමංව සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමට වැයකළ හැකි බවට විපක්ෂනායකවරයා පාර්ලිමේන්තුවේ දී පසුගියදා ප්‍රකාශ කර තිබිණ.

    සමාගමේ මුදල් එවැනි කටයුත්තක් සඳහා යොමුකිරීම ආයතනික පරිපාලන මූලධර්ම,මූල්‍ය ක්‍රමවේද හා පාර්ශවකරුවන්ගෙන් අභිලාෂ උල්ලංඝනය කිරීමක් බවට විපක්ෂනායකවරයා හොඳින් දන්නා කරුණක් බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම පවසන්නේ.

    සමාගම පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල් එක සන්නාමයක් ලෙස ඒකාබද්ධ කෙරුණේ,සියලු ශ්‍රී ලාංකිකයන්ට විශ්ෂ්ට සේවාවක් ලබාදීමේ අරමුණින් බවයි.

    සන්නාම ඒකාබද්ධ කිරීමේ සෙසු අරමුණු වන්නේ සමාගම් දෙකේ අනන්‍යතාව ආරක්ෂා කිරීම පාරිභෝගික පදනම වර්ධනය කර ගැනීම සහ ලාභ ඉපයීම බව ද නිවේදනයේ සඳහන්.

    Latest News