යූරියා බෙදීමට කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් සියලු ආයතනයන්හි නිවාඩු අත්හිටුවේ

ජූනි 24, 2022

    යූරියා පොහොර බෙදා හැරීමේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් සියලු ආයතනයන්හි සේවක මණ්ඩලවල නිවාඩු ජූලි 06 සිට අත්හිටුවීමට තීරණය කරයි.

    ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත මෙ.ටො . 65,000 කින් සමන්විත පොහොර නැව ජූලි මස 06 දින අප රටට ළගා වීමට නියමිතය.

    එම පොහොර තොගය ගොවි ජනතාව වෙත කඩිනමින් බෙදා හැරීම සඳහා සියලු පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (24) කෘෂිකර්ම ලේකම් රෝහණ පුෂ්කුමාර මහතාට උපදෙස් දෙනු ලැබීය.

    අද දින (24) පෙරවරුවේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ දී පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මෙම උපදෙස් දුන්නේය.

    ඒ අනුව ඉන්දීය රජය විසින් පිරිනමන යූරියා පොහොර නැව ගොඩබෑමෙන් පසුව දිවයින පුරා පිහිටි ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කෙරේ. එම කටයුතු ජූලි 07 දින සිට ජූලි 15 දක්වා සිදු කෙරෙන අතර එම කටයුතු වෙනුවෙන් අදාළ කාලය තුළ කෘෂිකර්ම අමාත්‍යාංශය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, ජාතික පොහොර ලේකම් කාර්යාලය, ලංකා පොහොර සමාගම, කොමර්ශල් පොහොර සමාගම යනාදී ආයතනවල සියලු කාර්යමණ්ඩලවල නිවාඩු අවලංගු කෙරේ.

    මේ අතර මෙවර යල කන්නය සඳහා ජූනි 22 දිනය වන විට වගා කටයුතු ආරම්භ කර ඇති කුඹුරු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 492,612.43 දක්වා ඉහළ ගොස් තිබේ.එම ප්‍රමාණය වගා කිරීමට සැලසුම් කර තිබූ සමස්ත කුඹුරු ප්‍රමාණයෙන් 82% කි.

    මෙම සාකච්ජාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර, ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් එච්.එම්.අබේරත්න මහතා ඇතුලු පිරිසක් සහභාගී වූහ.

    Latest News