වන්දි ඉල්ලා අසාද් සාලිගෙන් ඉල්ලීමක්

පෙබ 21, 2022

    පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තුමන්ත්‍රීවරු 3කගෙන් වන්දි ඉල්ලා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාගෙන් ඉල්ලීමක් ඉදිරිපත් ව තිබේ.

    කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ජාතීන් අතර නොසන්සුන්තාවක් ඇති වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යැයි චෝදනා ලබා පසුව නිදොස් කොට නිදහස් කෙරුණු තමාට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කර අධිකරණය හමුවේ සාක්ෂි ලබාදුන් මොහොමඩ් මුසම්මිල්, නිමල් පියතිස්ස සහ ගාමිණී වලේබොඩ යන පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම පවත්වාගෙන යාමට අවසර දෙන්නේ ද? නැද්ද? යන නියෝගය මාර්තු මස 23 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය නියෝග කළා.

    කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් මෙම නියෝගය කරනු ලැබුවා.

    මෙම ඉල්ලීම කැදවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ රජයේ නීතිඥ වසන්ත පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් වසරේ දෙසැම්බර් මස 2 වනදා මෙම විත්තිකරු අදාළ චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය තීරණය කළ බව සඳහන් කළා.

    ඉන් අනතුරුව තමන්ට සිදු වූ අගතිය වෙනුවෙන් පැමිණිලිකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තුන්දෙනාගෙන් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා අසාත් සාලි මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් මෙම ඉල්ලීම ඉදිරිපත් කළ බව සඳහන් කළ ජ්‍යේෂ්ඨ රජයේ නීතිඥවරයා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 17 (2) වගන්තිය යටතේ මෙවැනි ඉල්ලීමක් කිරීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන්නා.

    එම ඉල්ලීම තුල කිසිදු නීතිමය පදනමක් නොමැති බවත් චූදිතට වන්දි ගෙවන ලෙස පැමිණිලිකාර මන්ත්‍රීවරුන්ට නියෝගයක් කිරීමට අධිකරණයට හැකියාවක් නොමැති බවත් පෙන්වා දුන් ජ්‍යේෂ්ඨ රජයේ නීතිඥවරයා ඒ අනුව අදාළ ඉල්ලීම නිෂ්ප්‍රභ කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    එම අවස්ථාවේදී අධිකරණය විසින් නිකුත් කරන ලද සිතාසි මත පෙනී සිටි මොහොමඩ් මුසම්මිල්, නිමල් පියතිස්ස හා ගාමිණී වලේබොඩ යන මන්ත්‍රීවරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව පැමිණිලි ඉදිරිපත් කළේ තම සේවාදායකයින් පමණක් නොවන බවත් රටේ විශාල පිරිසක් ඊට අදාළව පැමිණිලි ඉදිරිපත් කළ බව සඳහන් කර සිටියා.

    පැමිණිලි ඉදිරිපත් කළ පමණින් නඩු පැවරීමට නීතිපතිවරයා බැඳී නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැමිණිලිවලට අදාළව සිදුකළ පොලිස් විමර්ශනවලදී බැලූ බැල්මටම නඩුකරයක් අනාවරණය වීම නිසා නඩු පැවරීමට නීතිපතිවරයා කටයුතු කළ බවත් පෙන්වා දුන්නා.

    මෙවැනි ඉල්ලීම්වලට අධිකරණය විසින් අවසර දුනහොත් ඉදිරියේදී අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට පුරවැසියන් බිය වනු ඇති බවත් එවැනි පැමිණිලි ඉදිරිපත් වීම වැළැක්වීමෙන් අරමුණින් මෙවැනි ඉල්ලීම් ඉදිරිපත් කරන බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළා.

    දේශපාලන අරමුණකින් ඉදිරිපත් කර තිබෙන මෙම ඉල්ලීම නිෂ්ප්‍රභ කරන ලෙසයි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

    අනතුරුව අසාත් සාලි මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරන ලද්දේ මෙම නඩුවට අදාළ පොලිස් විමර්ශන අවසන් වීමටත් පෙර බව සඳහන් කර සිටියා.

    එසේනම් දේශපාලන අරමුණකින් කටයුතු කර ඇත්තේ කවුරුන්දැයි පෙනී යන බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ජනමාධ්‍ය ඔස්සේ විකෘති කරන ලද තම සේවාදායකයාගේ ප්‍රකාශයක් මත එම නඩුව ගොනු කළ බවත් චෝදනා කර සිටියා.

    මෙවැනි ක්‍රියා වෙනත් කිසිදු රටක සිදුවිය නොහැකි බවත් මෙවැන්නක් සිදුවිය හැක්කේ ශ්‍රී ලංකාවේ පමණක් බවත් සඳහන් කළ ජනාධිපති නීතිඥ ගුණරත්න මහතා වර්තමානයේ නඩුවක් පැවරීම සඳහා නීතිපතිවරයාට අවශ්‍යවන්නේ පැමිණිල්ලක් හා විත්තිකරුවකු පමණක් බවත් ඔහුට සාක්ෂි අවශ්‍ය නොවන බවත් කියා සිටියා.

    මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිදෙනා සිදු කළ පැමිණිල්ල හේතුවෙන් තම සේවාදායකයා මාස නවයක කාලයක් අත්අඩංගුවේ සිටි බවත් එම කාලසීමාව තුළ ඔහුට ලැබිය යුතු ආදායම් අහිමි වීම, වියදම් සම්බන්ධයෙන් වන්දියක් ගෙවන ලෙස පැමිණිලිකාර මන්ත්‍රීවරු තිදෙනා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    සියලු පාර්ශව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මෙම ඉල්ලීම පවත්වාගෙන යාමට අවසර දෙන්නේ ද? නැද්ද?@ යන නියෝගය මාර්තු මස 23 වන දා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළා.

    Latest News