අසාද් සාලිට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය ඇරඹේ

නොවැ 03, 2021

    හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවේ සාක්ෂි විභාගය ඊයේ ආරම්භ කෙරිණ.

    ඒ කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ. ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියාකළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ. පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු වන ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක හා පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතාගේ සාක්ෂි සටහන් කර ගැනීම ඊයේ සිදු කෙරිණ.

    එහිදී මුසම්මිල් මහතා කියා සිටියේ අසාද් සාලි මහතා මාධ්‍ය සාකච්ජාවක් පවත්වා සිදුකළ ප්‍රකාශයකින් ජාතීන් අතර ගැටලුවක් මතුවිය හැකි බවට හැඟීමක් තමන් තුළ ඇතිවීම හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවයි.

    අසාද් සාලි මහතා රටේ නීතිය පිළි නොගන්නා බව පැහැදිලිව ප්‍රකාශ කළ බවත් එම වෛරී ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් පැමිණිලි කිරීමට ක්‍රියා කළ බවත් මුසම්මිල් මන්ත්‍රීවරයා සාක්ෂි දෙමින් කියා සිටියේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන නිමල් පියතිස්ස මහතා ද ඊයේ සාක්ෂි ලබා දුන්නේය.

    වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම ලබන 9 වැනිදා තෙක් කල්තැබිණ.

    Latest News