අසාද් සාලි නිදොස් කොට නිදහස්

දෙසැ 02, 2021

    ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා යැයි, චෝදනා ලැබ මාස 8කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. 

    කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය. 

    තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු වරයා කියා සිටියේ විත්තිකරු විසින් ජාතීන් හෝ ආගම් වලට පවතින සංහිඳියාව බිදී යන ආකාරයෙන් හා ජනතාව අතර ක්‍රෝධය වර්ධනය වන ආකාරයෙන් ප්‍රකාශ සිදු කර ඇති බව ඔප්පු කිරීමට පැමිණිලිකරුවන් අසමත් වී ඇති බවයි.

    ඒ අනුව විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති හෙයින් විත්තිකරු නිදොස් කොට නිදහස් කරන බවත් විනිසුරුවරයා තීන්දු කළේය.

    ඉකුත් මාර්තු මස 09 වැනිදා කොළඹ දී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ අසාද් සාලි මහතා විසින් "අපේ නීතිය අපිට.. ඔයගොල්ලන්ගේ නීතිය ඔයගොල්ලන්ට.. ඒවා හරි වැරදි බලන්නේ අපි.. කුරානයයි, හදිසියයි, ශර්යාවයි අපේ නීතිය නම් අපි ඒකට ගරු කරනවා මිසක් රජයේ නීතිය බලන්නේ නැහැ. කුරානයයි, නබිතුමාගේ "හදිසියයි" හැරෙන්නට වෙන නීතියක් අපට නැහැ" යනුවෙන් ප්‍රකාශයක් සිදුකර තිබූ බව නීතිපතිවරයා විසින් අසාද් සාලි මහතාට එරෙහිව ගොනුකළ අධි චෝදනා පත්‍රයේ සඳහන් කොට තිබුණි.

    මෙම ප්‍රකාශය තුළින් ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කිරීම තුළින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනත යටතේ වරදක් සිදු කළේ යැයි, චෝදනා කොට අසාත් සාලි මහතාට එරෙහිව චෝදනා දෙකක් යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ මෙම අධිචෝදනා ගොනු කර තිබුණි. 

    Latest News