දේශපාලන පලිගැනීම් කොමිසමට එරෙහි අනුරගේ පෙත්සම ලබන 30 යළි කැඳවේ

මාර් 26, 2021

    දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම විසින් තමන්ට එරෙහිව සිදුකර තිබෙන නිර්දේශ බල රහිත කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මේ මස 30 වනදා කැදවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

    එදින මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වමින් වගඋත්තර කරුවන් වෙත නොතීසි නිකුත් කරන ලෙසද අධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කළා.

    මෙම පෙත්සම අද අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැදවනු ලැබු අවස්ථාවේ දී එම නියෝගය කෙරුණා.

    මෙම නඩුකරය කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම පිළිබඳව කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීම සලකා බැලීමෙන් පසුව එය ලබන 30 වනදා කැඳවීමට නියෝග කෙරුණා.

    මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න සහ එම කොමිසමේ සාමාජිකයන්, ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, අග්‍රාමාත්‍ය වරයා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, අල්ලස් කොමිසම, පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

    පෙත්සම්කාර අනූර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරන්නේ අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩු කිහිපයකට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිලි කිහිපයක් විභාග කළ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම තමන්වද එම චෝදනාවවලට "වගකිව යූතු පුද්ගලයෙකු" බවට නිර්දේශ ඉදිරිපත් කර ඇති බවයි.

    අදාළ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයක් ගෙන ඇති බව ද ඔහු පැවසුවා

    තමන්ට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිලි විභාග කිරීමට අදාල කොමිසමට නෛතික බලයක් නොමැති බව පෙන්වා දෙන පෙත්සම්කාර දිසානායක මහතා මෙම විමර්ශනයවලදී අදාළ කොමිසම පක්ෂග්‍රාහී ආකාරයෙන් කටයුතු කර ඇති බව ද චෝදනා කළා.

    ඒ අනුව තමාට එරෙහිව අදාළ කොමිසම විසින් සිදු කර තිබෙන නිර්දේශ සහ ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා ගෙන තිබෙන ‍අමාත්‍යක මණ්ඩල තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

    ඊට අමතරව මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු අදාළ කොමිසමේ නිර්දේශ හා එය ක්‍රියාත්මක කිරීමට ගෙන තිබෙන අමාත්‍ය මණ්ඩල තීරණය අත් හිටුවන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩි දුරටත් ඉල්ලා තිබෙනවා.

    මේ අතර දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ පරීක්ෂණ කොමිසමේ නිර්දේශය බලරහිත කරන ලෙස ඉල්ලා ජේෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම ද ලබන 30 වන දා සලකා බැලීම සඳහා කැඳවන ලෙස අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා.

    Latest News