රෝහල ඇමට ගත් යුද බිම

ඔක් 30, 2023
    ගාසා නගරයේ පිහිටි අල්-කුඩ්ස් රෝහලෙන් රෝගීන් ඉවත් කරන ලෙස ඊශ්රායල දන්වා ඇතැයි, ගාසා තීරයේ පලස්තීන රතු අඩ සඳ සංවිධානය පවසනවා.

    එම සංවිධානය පවසන්නේ, දැඩි සත්කාර ඒකකවල රෝගීන් සහ ඉන්කියුබේටර්වල සිටින ළදරුවන් රෝහලෙන් ඉවත් කරගැනීමට හැකියාවක් නොමැති බවයි.

    අල්-කුඩ්ස් රෝහල ගාසා නගරයේ ප්රධාන රෝහලක්. රෝගීන් මෙන්ම, අවතැන්වූ පලස්තීන වැසියන් 14,000ක් පමණ රෝහල් භූමියේ නවාතැන් ගෙන සිටින බව, විදෙස් මාධ්ය වාර්තා කරනවා.
     
    ඊයේ එම රෝහල අසළට එල්ල කරන ලද ඊශ්රායල ගුවන් ප්රහාර හේතුවෙන්, හමාස් සටන්කාමීන් විශාල සංඛ්යාවක් මිය ගිය බව, ඊශ්රායල ආරක්ෂක අංශ පවසනවා.
     
    අල්-කුඩ්ස් රෝහලට ගුවන් ප්රහාරයක් එල්ල වුවහොත්, ඊශ්රායල යුද අපරාධ චෝදනා එල්ල විය හැකි බව, ‘හියුමන් රයිට්ස් වොච්’ සංවිධානයේ හිටපු විධායක අධ්යක්ෂ කෙනත් රොත් අනතුරු අඟවා තිබුණා.
     
    ඔහු කියා සිටියේ, රෝහලෙන් සිවිල් වැසියන් ඇතුළු රෝගීන් ඉවත් කරගැනීමට නියෝග දීම මානුෂීය නීති ඇතුළු අනෙකුත් නීති උල්ලංඝණය කිරීමක් බවයි.
     
    ඊශ්රායල හමාස් ගැටුම හේතුවෙන්, පලස්තීන සිවිල් වැසියන් 8,000 ට වැඩි සංඛ්යාවක් මියගොස් ඇතැයි, ගාසා තීරයේ හමාස් සෞඛ්ය අමාත්යාංශය පවසනවා.

    Latest News