බ්‍රිතාන්‍යයේ නව අගමැති අද ප්‍රකාශයට

සැප් 05, 2022

    බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. පාලක පක්ෂයේ නායකත්වය හිමි පුද්ගලයාට එරට අග්‍රාමාත්‍ය ධුරය හිමි වීම විශේෂත්වයක්. වර්තමානයේ බ්‍රිතාන්‍යයේ පාලක පක්ෂය ලෙස ක්‍රියා කරන්නේ, කන්සර්වේටිව් පක්ෂයයි.

    පක්ෂ නායකයා තෝරා ගැනීම, අභ්‍යන්තර ඡන්දයකින් සිදු වනවා. ඒ සඳහා කන්සර්වේටිව් පක්ෂ නියෝජිතයන්,  පක්ෂ ක්‍රියාකාරීන් සහ සාමාජිකයින් අතර ඡන්ද විමසීමක් පැවැත්වුණා. එහි ප්‍රතිඵල අද නිකුත් වනු ඇති.

    මෙවර පක්ෂ නායකත්වය වෙනුවෙන් තරග බිමට පිවිසි ප්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනා වන්නේ, වත්මන් විදේශ අමාත්‍යවරිය වන ලිස් ට්‍රස් සහ හිටපු මුදල් අමාත්‍ය රිෂි සුනක්.

    47 හැවිරිදි ලිස් ‍ට්‍රස් පක්ෂ නායකත්ය හිමි වී අග්‍රාමාත්‍ය ධුරයට පත් වුවහොත්, තෙරේසා මේ සහ මාග්‍රට් තැචර්ගෙන් පසු එරට අග්‍රාමාත්‍ය ධුරයට පත් වන තෙවැනි කාන්තාව බවට  පත් වනු ඇති. 42 හැවිරිදි රිෂි සුනක් ඉන්දීය සම්භවයක් ඇති අයෙකු බැවින් ඔහු ජයග්‍රහණය  කළහොත්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත් වන ඉන්දීය සම්භවයක් ඇති  පළමු තැනැත්තා ඔහු වනු ඇති. 

    බ්‍රිතාන්‍ය පාලක පක්ෂයට නව නායකයෙකු පත්කර ගැනීම සිදුව ඇත්තේ, පක්ෂ නායකත්වය මෙන්ම අග්‍රාමාත්‍ය ධුරයද හෙඹ වූ බො‍රිස් ජොන්සන්, ඉන් ඉවත්  වූ බැවින්. ජොන්සන්ට පක්ෂ නායකත්වය අහිමි  වූයේ ඔහුගේ ක්‍රියාකලාපය පක්ෂ සාමාජිකයන්ගේ අප්‍රාසදයට හේතු වූ නිසයි. ඒ අනුව, ඉකුත් ජුලි මස සිට නව නායකයෙකු තෝරා ගැනීමට ඡන්ද විමසීම් පැවැත්වුණා.

    ලිස් ට්‍රස් සහ රිෂි ‍සුනක් අවසාන  වටයට තේරි පත් වූයේ ඒ අනුවයි.  කෙසේ වුවත් නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරි පත් වන පුද්ගලයාට බ්‍රිතාන්‍ය වසර 40 කට පසු මුහුණ දෙන උද්ධමනය සහ ආර්ථික අවපාතය ඇතුළු අභියෝග රැසකට මුහුණ දීමට සිදු වන බව, දේශපාලන විචාරකයන් පවසනවා.

    Latest News