හුති කැරළිකරුවන්ට අමෙරිකානු ගුවන් ප්‍රහාර

ජන 12, 2024

    අමෙරිකාවේ සහ එක්සත් රාජධානියේ හමුදා, යේමනයේ හූති කැරළිකරුවන්ගේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර ආරම්භ කර තිබෙනවා.

    අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසන්නේ, හූති කැරළිකරුවන් පසුගිය දිනවල රතු මුහුදේ නැව්වලට සිදු කළ පහරදීමට, ප්‍රතිචාර ලෙස මෙම ප්‍රහාර සිදු කරන බවයි. රාජකීය ගුවන් හමුදාවේ යුද ගුවන් යානා, හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමට සහය දුන් බව බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ මෙම ප්‍රහාර "සීමිත ක්‍රියාමාර්ගයක්" පමණක් බවයි.

    මෙහෙයුම්වලට නෙදර්ලන්තය, ඕස්ට්‍රේලියාව, කැනඩාව සහ බහරේනයේ සහායද ලැබී තිබෙනවා. යේමනයේ සානා අගනුවර, රතු මුහුදේ හුඩයිඩා වරාය සහ වයඹදිග හූති බලකොටුව වන සාඩා වෙත මෙම ප්‍රහාර එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. "හූති" නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා අනතුරු අඟවා ඇත්තේ, මෙම ප්‍රහාරවලට තමන් ප්‍රතිචාර දක්වන බවටයි.

    මේ අතර, ඉරානය කියා සිටින්නේ, මෙම ප්‍රහාර යේමනයේ භෞමික අඛණ්ඩතාව පැහැදිලිවම උල්ලංඝනය කිරීමක් බවයි. අමෙරිකාව සහ එක්සත් රාජධානිය, යේමනයට එල්ල කරන ප්‍රහාර සම්බන්ධයෙන් හදිසි රැස්වීමක් කැඳවන ලෙස රුසියාව, එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. "හූති" කැරළිකරුවන් යේමනයේ බොහෝ ප්‍රදේශ තම පාලනයට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

    ඊශ්‍රායලයට යන නැව් ඉලක්ක කර ප්‍රහාර එල්ල ‍කෙරෙන අතර, එමගින් ඔවුන් හමාස් සංවිධානයට සහාය දක්වන බවයි, විදෙස් විශ්ලේෂකයින් පවසන්නේ.

    Latest News