සියදිවි නසාගත් තරුණිය ගැන පරීක්ෂණයක් ඉල්ලා උද්ඝෝෂණයක්

පෙබ 12, 2019

    හැටන් නගරයේ වෛද්‍ය මධ්‍යස්ථානයක දී සියදිවි හානි කරගත් තරුණියක් ගැන විධිමත් පරීක්ෂණයක් කරන ලෙස බලකරමින් අද (12) විරෝධතාවයක් පවත්වා ඇත.

    පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක දී සිදුවී ඇති මේ සිදුවීම සම්බන්ධයෙන් සිවිල් සංවිධාන කිහිපයක් හැටන් දික්ඔය නගර සභාව ඉදිරිපිට මෙම විරෝධතාවය පවත්වා තිබේ.

    සියදිවි හානි කරගෙන ඇත්තේ එම පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේම හෙදියක් ලෙස සේවය කළ තලවකැලේ වටගොඩ ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි එස්.ශාන්තිනි නැමති තරුණියකි. මෙම තරුණිය ඉකුත් මස 3 වෙනි දින ඇගේ ඥතීන්ට දුරකතන හඬ පටයක් නිකුත් කරමින් පවසා ඇත්තේ මෙම වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරයා හොඳ චරිතයකින් යුක්ත අයෙකු නොවන බවයි. තමන්ට එම වෛද්‍යවරයාගෙන් ලිංගික අතවර සිදු වීම නිසා තමන්ට සමාජයට මුහුණ දීමට නොහැකි තත්ත්වයක් මත තමා ආතතියට ලබා ගන්නා ඖෂධ පෙති 90ක් පානය කර සිය දිවි හානි කර ගන්නා බවයි.

    මෙම චෝදනාවට ලක්වන වෛද්‍යවරයා කොටගල ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය අධිකාරිවරයා වශයෙන් සේවය කරන අතර ඔහු දික්ඔය මුලික රෝහලේ කෙටි කාලයක් රෝහල් අධිකාරිවරයා වශයෙන්ද කටයුතු කර තිබේ.

    තරුණිය සිය දිවි හානි කරගැනීම සම්බන්ධයෙන් හැටන් පොලීසිය විසින් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත. ඉන්පසු දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යය ඉනෝකා රත්නායක මහත්මිය විසින් මිය ගිය තරුණිගේ ඥතින්ගේ එකඟතාවය මත පශ්චාත් මරණ පරික්ෂණ පවත්වා ඇත. එම පශ්චාත් මරණ පරික්ෂණයේදී ඇය කිසිදු ලිංගික අතවරයකට පත් වී නොමැති බවත් එම මරණය සම්බන්ධයෙන් විවෘත තින්දුවක් ලබාදෙමින් විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා නියෝගයක්ද නිකුත් කර තිබේ.

    උද්ඝෝෂණයේ නියැලී සිටි සිවිල් සංවිධාන සාමාජිකයන් කියා සිටින්නේ එම වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය වෛද්‍යවරයා නීතියේ රැහැනින් මුදවා ගැනිම සඳහා අදාළ වගකිය යුත්තන් කටයුතු කල බවයි.

    මෙම මරණය සම්බන්ධයෙන් අධිකරණයෙන් හෝ සාධාරණයක් ඉටු කර දෙන ලෙස උද්ඝෝෂණය කළ සිවිල් සංවිධාන ඉල්ලා සිටි.

    Latest News