ලාංකීය පවුලක් පදනම් කරගත් Half Gods ජනගත වේ

ඔක් 17, 2018

    අකිල් කුමාරස්වාමිගේ පළමු කෙටි කතා එකතුව වන Half Gods කෘතිය ඉන්දීය HarperCollins සමාගම දායකත්වයෙන් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

    ඉන්දීය – දමිළ පවුලකට දාව ව ඉපදුණු අකිල් මේ වනවිට ඇමරිකාවේ දිවි ගෙවන අතර එකිනෙකට සම්බන්ධව ලියැවුණු කෙටිකතා මේ කෘතියේ දිගහැරේ. ලාංකික දමිළ පවුලක කතාවක් ද මෙහි සටහන් වී තිබීම විශේෂත්වයකි.

    සිය පළමු කෙටිකතා එකතුව ගැන අදහස් දක්වන අකිල් කුමාරස්වාමි පවසන්නේ, ‘‘අනන්‍යතාව යන්න ජාතිකත්වය, ආගමික හෝ ලිංගික්වය වශයෙන් පැවතුණත් මෙය කොයිතරම් නම් වියවුලකට පත්වී තිබෙනවාදැයි හොයා බලන්න වගේම ඒ වියවුල ලිහා දැමීමේ සංකල්පය ගැන කතාකරන්න මට වුවමනා වුණා. මිනිස්සුන්ගේ ජීවිත වලට ව්‍යාජ මායිම් පනවන්නේ ද මිනිස්සුමයි. මනුස්සයෙක්ට ලාංකිකයෙකු හෝ ඉන්දියානුවෙකු බව පැවසීමෙන් අදහස් වෙන්නේ මොකක්ද ?. කෙටිකතාවක් හා නවකතාවක ස්වරූපයෙන් මේ පොතේ ආකෘතිය සකස් වී තිබෙන අතර අප වැනි මිනිස්සු වගේම එය ද අසම්පූර්ණයි‘‘

    HarperCollins India සමාගමේ සාහිත්‍ය අංශයේ ප්‍රකාශක ලෙස කටයුතු කරන උදයන් මිත්‍රා පවසන්නේ, ‘‘අකිල් කුමාරස්වාමි සාහිත්‍යකරණයේ නිරත වෙන සුවිශේෂී ලේඛිකාවක් වන අතර Half Gods කෘතිය දැනටමත් ලොව පුරා පාඨක අවධානයට ලක්වී තිබෙනවා. HarperCollins India සමාගමේ අප මේ සුවිශේෂී සාහිත්‍ය කෘතිය පාඨකයින් වෙතට ලබාදෙන්න දැඩි උනන්දුවකින් පසුවෙනවා වගේම අකිල්ගේ සුවිශේෂී හැකියාව ගැන දැනගන්න පාඨකයින් ද දැඩි උනන්දුවෙන් පසුවෙන බව විශ්වාසයි‘‘ යන්නයි.

    සොහොයුරන් දෙදෙනෙකු උප‍දේවතාවන් බවට පත්වීම ගැන මහාභාරතයේ එන කතා පුවතක් පදනම් කරගනිමින් මේ කෘතිය ලියැවී ඇත. පවුලේ අතීතය නිසා ජීවිතයේ විවිධ බාධක වලට මුහුණදෙන පවුලක කතාව ද මෙහි දිගහැරේ. එකිනෙකට සම්බන්ධ වී ඇති මේ කතා පුවත තුළ අප ජීවත්වන මේ ලෝකය නැවත සිතියම් ගත කරයි. කම්කටොළු රැසකට මුහුණදෙමින් මෙලොව එළිය දකින හින්දු නමක් දරන කුඩා දැරියක් මුස්ලිම් පවුලක හැදී වැඩෙයි. ඇන්ගෝලාවේ ජීවත් වන මස් මරන්නෙකු සරණාගතයෙකු ලෙස ජීවිතයට සැනසීමක් ලබාගන්නට නිව්ජර්සි වෙත පැමිණේ, ලංකාවේ සිට පැමිණෙන කීට විද්‍යාඥයෙකු අතුරුදහන් වූ සිය දරුවා සොයමින් යන අතරතුර අනපේක්ෂිත සොයාගැනීමක් සිදුකරන අයුරු අකිල් සිය කෙටිකතා පෙළ තුළින් දිගහරියි.

    මාපියන්, දරුවන් හා මිතුරන් නොහඳුනන කැඩපත් ලෙස හැසිරෙන අන්දම මෙන්ම මනුෂ්‍යයින් ලෙස පුද්ගලයින් තුළ ඇති දුර්වලතා, බලාපොරොත්තුව හා දුක්, කඳුළු ගැන ද Half Gods කෘතියෙන් අනාවරණය වේ.

    Half Gods කෘතිය ගැන පළවී ඇති විචාරක අදහස් කීපයක් මෙසේය,

    “රෑ කෑම මේසේ වටේ හිඳගෙන ඉන්න පවුලක් වගේ Half Gods හි මවා තිබෙන කතා එකිනෙකට ගැළපෙනවා වගේම එකිනෙක මත ගැටෙනවා නිසා මේ තුළ මහා පෙරළියක් සිද්ධ වෙනවා” – The New Yorker

    “හැබෑවටම මේ කතාංග මනාව ලියැවුණු, අතිශය සුන්දර ඒවා වගේම අතිදුර්ලභ ප්‍රතිභාවක් පෙන්වනවා‘‘ – Swimmer Among the Stars හි කතුවරයා වන Kanishk Tharoor

    වින්ද්‍යා ගම්ලත්

    Last modified on බදාදා, 17 ඔක්තෝබර් 2018 16:41

    Latest News