බ්‍රිතාන්‍යයේ ගුවන්තොටුපොලවල විද්‍යූත් ගේට්ටුවල ප්‍රශ්නයක්

මැයි 27, 2023

    මහා බ්‍රිතාන්‍යයේ ගුවන්තොටුපොලවල විද්‍යූත් ගේට්ටු හදිසියේ ක්‍රියා විරහිතවීම නිසා එරටට පැමිණෙන මගීන් දැඩි අපහසුතාවකට ලක්ව සිටින බව, විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

    ඇති වූ අනපේක්ෂිත තත්වය හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර හැසිරවීම ඇතුළු ගුවන්තොටුපොල කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇති බවයි, වාර්තා වන්නේ.

    විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, මහා බ්‍රිතාන්‍යයේ හීත්‍රෝ, ‍මැන්චෙස්ටර් සහ ගැට්වික් ඇතුළු එරට සමස්ත ගුවන්තොටුපොලවල ඊයේ රාත්‍රියේ සිට මෙම ගැටලුව පැන නැගී ඇති බවයි. එරට ස්ව‍දේශ කටයුතු කාර්යාලය පවසන්නේ, මහා බ්‍රිතාන්‍යය පුරා දේශසීමා පද්ධතිවලට මෙම ගැටලුව හේතුවෙන් ඇතිවන බලපෑම අවම කිරීම සඳහා ගුවන් සමාගම් සහ ගුවන්තොටුපොල කාර්ය මණ්ඩල සමග එක්ව කඩිනමින් ක්‍රියා කරන බවයි. විද්‍යුත් ගේට්ටු භාවිත කෙරෙන මහා බ්‍රිතාන්‍ය පුරා සියලුම ගුවන් ‍තොටුපොලවල් මේවන විට දැඩි බලපෑමකට ලක්ව තිබෙනවා. මගීන්ගේ විදේශ ගමන් බලපත්‍ර ස්වයංක්‍රීයව වෙනුවට අතින් පරීක්ෂා කිරීමට සිදුව ඇති බවයි, වාර්තා වන්නේ. එහිදී සිදුවන ප්‍රමාදය හේතුවෙන් මගීන්ට දිගු පොලිම්වල රැඳී සිටීමට ද සිදුව ඇති බව, එරට මාධ්‍ය සඳහන් කරනවා.

    Latest News