කාලගුණයෙන් රතු එළියක්

මැයි 23, 2024

    නිරිත දිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම නිසා තද සුළං සහ මුහුදු රළුවීම පිළිබඳ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    ඒ අනුව ගිනිකොණදිග මුහුදු ප්‍රදේශ සහ නිරිතදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිත ගැඹුරු මුහුදු ප්‍රදේශවල ක්‍රියා කරන ධීවර සහ නාවික ප්‍රජාවන්ට අදාළ රතු නිවේදනය ක්‍රියාත්මකයි. එම මුහුදු ප්‍රදේශවලත් ඉතා තද සුළං පැ.කි.මී 60 - 70 දක්වා ඇති විය හැකි අතර මුහුද ඉතා රළු විය හැකියි.

    හෙට (24) වන විට පහළ වායුගෝලයේ පැවති කැලඹිලි ස්වභාවය බෙංගාල බොක්කෙහි මධ්‍යම ප්‍රදේශය හරහා පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇතැයි ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

    ඉන්පසුව එය බෙංගාල බොක්ක ඊසාන දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය වනවා. කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකියි. එම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දනෙ තුරු යාත්‍රා නොකරන ලෙස දැනුම් දෙනවා.

    දැනට එම ප්‍රදේශවල සිටින අයට වහාම ගොඩබිමට පැමිණෙන ලෙසත් ඉදිරි නිවේදන ගැන සැලකිලිමත් වන ලෙසත් දැනුම්දී ඇත.

    දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (23) දිනයේත් මි.මී 150 ඉක්ම වූ තද වැසි ඇති විය හැකියි.ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව පවතිනවා.

    සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ක පමණ තද වැසි ඇති විය හැකිය.

    බස්නාහිර සහ වයඹ පළාත්වලත් මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇති විය හැකියි.

    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද, බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වල කිලෝමීටර් 50ත් 60ත් අතර තද සුළං ඇති විය හැකි බව ද එම නිවේදනයේ සඳහන්.

    Last modified on බ්‍රහස්පතින්දා, 23 මැයි 2024 10:13

    Latest News