නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 24ක් අත්අඩංගුවට

ජන 26, 2021

    නිරෝධායන රීතිවලට අනුගතව කටයුතු කිරීම පිළිබඳව සොයා බැලීමේ මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මකයි.

    ඊයේ දිනයේ ද මෙහෙයුම් කිහිපයක් ක්‍රියාත්මක කෙරුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා ප්‍රකාශ කළා.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා...

    "විශේෂයෙන්ම මුහුණු ආවරණ නොපැළඳීම දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධව පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් බස්නාහිර පළාතෙන් පිටත ක්‍රියාත්මක වුණා. එම මෙහෙයුමේදී සැකකරුවන් 24 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 2770 ක් පමණ වෙනවා. රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන ඒ වගේම වෙළඳසැල් කර්මාන්තශාලා නිරෝධායන රීතිවලට අනුගතව කටයුතු කරන්නේ දැයි පරික්ෂා කිරීමේ මෙහෙයුම ඊයේ (25) උදෑසන 11 සිට සවස 4.00 දක්වා කාලය තුළ බස්නාහිර පළාත් ආශ්‍රිතව ක්‍රියාත්මක කර තිබෙනවා. මෙම මෙහෙයුමෙන් රාජ්‍ය සහ පුද්ගලික ආයතන 909 පරීක්ෂාවට ලක් කර තිබෙනවා. මෙම නමසිය නමයෙන් ආයතන 821 සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන බවට අනාවරණය වී තිබෙනවා. ඒ වගේම ආයතන 88ක් සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකරමින් අදාළ ගැසට් නිවේදනයේ රෙගුලාසි උල්ලංඝනය කරන බවට වාර්තා වී තිබෙනවා.

    ජනවාරි 10 වැනිදා සිට අද දක්වා කාලය තුළ සම්පූර්ණයෙන්ම ආයතන 7828 පරීක්ෂාවට ලක් කර තිබෙනවා. ඉන් ආයතන 6739 ඉතාම හොඳින් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන බවත් කෙසේ වෙනත් ආයතන 1089 ක් පමණ සෞඛ්‍ය පුරුදුවලට පටහැනිව කටයුතු කරන බවත් පෙනී ගොස් තිබෙනවා. පසුගිය දින කිහිපය තුළ පොදු ප්‍රවාහන සේවාවල ඒ වගේම පාසල් බස් රථවල රියදුරන් කොන්දොස්තරවරුන් සහායකයින් දහසක් පමණ රැපිඩ් ඇන්ටිජෙන් පරීක්ෂණවලට බස්නාහිර පළාත තුළ යොමු කර තිබෙනවා. එයින් තිදෙනෙක් කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන තිබෙනවා. එම මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. අනිද්දා දිනයේ සිට බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා සහ ඉරිදා යන දිනයන්වල බස්නාහිර පළාතෙන් පිටතට ගමන් කරන සියලුම වාහන ස්ථාන 11 කදී රැපිඩ් ඇන්ටිජෙන් පරීක්ෂාවට ලක් කිරීමේ මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලබනවා. විශේෂයෙන්ම මේ සියලු මෙහෙයුම් සඳහා ජනතාවගේ සහයක නිරන්තරෙන් අපේක්ෂා කරනවා."

    Latest News