අමාත්‍ය නාමල්ට එරෙහි නඩුවක වැඩිදුර විභාගය සඳහා දින නියම වෙයි

ජන 26, 2021

    අමාත්‍ය නාමල් රාජපක්ෂට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ ගොනු කළ නඩුවක වැඩිදුර විභාගය සඳහා දින නියම වෙයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30 ක මුදලක් ගවර්ස් කෝපරේට් සමාගමේ ආයෝජනය කළේ යැයි චෝදනා කරමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ ගොනු කර තිබූ නඩුවක වැඩිදුර විභාගය ජුනි මස 22 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළා.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ කැදවනු ලැබුවා.

    එහිදී විනිසුරුවරයා නියෝග කළේ මෙම නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජුනි මස 22 වනදා සිදු කරන බවයි.

    එදින සාක්ෂිකරුවන් සිවුදෙනෙකුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා විනිසුරුවරයා විසින් සිතාසි ද නිකුත් කළා.

    මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස අමාත්‍ය නාමල් රාජපක්ෂ, ගවර්ස් කෝපරේට් සමාගම සහ එම සමාගමේ අධ්‍යක්ෂවරු ඇතුළු හය දෙනෙකු නම් කර තිබෙනවා.

    මෙම නඩුවේ තුන්වන විත්තිකාරිය ලෙස නම් කර සිටින සුජානි බෝගොල්ලාගම නමැත්තිය අසනීප තත්ත්වයක් හේතුවෙන් අද දින අධිකරණයේ පෙනී නොසිටින බව ඇයගේ නීතිඥවරයා දැනුම් දුන්නා.

    ඒ අනුව ඇයට මීළඟ නඩු දිනයේ වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි විනිසුරුවරයා නියෝග කළේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30 ක මුදලක් ගවර්ස් කෝපරේට් සමාගමේ ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණා.

    Latest News