ජංගම දුරකතනය ගත්තාට නේවාසිකාගාරය ගිනි තියලා

මැයි 26, 2023

    මධ්‍යම ගයානාවේ පාසල් නේවාසිකාගාරයක පසුගියදා ඇති වු ගින්නට හේතුව මේ වන විට අනාවරණය වී තිබෙනවා.

    එහි සිසුවියක විසින්ම ගිනි තැබීම සිදු කර ඇති බවයි, හෙළි වී ඇත්තේ. තම ජංගම දුරකථනය නේවාසිකාගාරයේ පාලිකාව සන්තකයට ගැනීම නිසා හට ගත් සිත් තැවුලක් හේතුවෙන් ඇය මෙම ගිනි තැබීම සිදු කර ඇති බව, විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

    ‍තම ජංගම දුරකථනය නේවාසිකාගාරය භාර පාලිකාව සන්තකයට ගැනීමත් සමග උරණ වූ සිසුවිය තමන් විසින් මෙම අපරාධය සිදු කළ බවට පිළිගෙන තිබෙනවා. ගින්නෙන් දැරියන් 19 දෙනෙකු මරණයට පත් වුණා. බොහෝ පිරිසක් තුවාල ලබා මේ වන විටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා. විනය විරෝධි ක්‍රියාවක් හේතුවෙන් එම සිසුවියගේ ජංගම දුරකථනය තමන් බාරයට ගත් බවත්, ඇති වූ ගින්නෙන් තම පස් හැවිරිදි පුත්‍රයා ද අහිමි වූ බවත්, නේවාසිකාගාරය බාර පාලිකාව ප්‍රකාශ කර තිබෙනවා. ගින්න හට ගත් අවස්ථාවේ නේවාසිකාගාරය අඟුළු දමා තිබූ අතර, එම නිසා දරුවන් බේරා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බව, ආරක්‍ෂක අංශ සඳහන් කළා.

    ගොඩනැගිල්ලේ බොහෝ කොටස් දැවයෙන් නිර්මාණය කර තිබූ අතර, ගින්න ක්‍ෂණයෙන් ගොඩනැගිල්ල පුරා ඇවිලුණු බව, පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, අනතුර වන විට නේවාසිකාගාරයේ සිසුවියන් 57 දෙනෙකු සිට ඇති බවයි. මිය ගිය අ‍යගෙන් වැඩි දෙනෙකු එරට ආදිවාසී ජනතාවට අයත් දැරියන්. සැකකාර සිසුවියද පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කොට ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි.

    Latest News