එක්දින ලෝක කුසලානය දිනා අදට වසර 28යි

මාර් 17, 2024

    1996 විල්ස් එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය පකිස්තානයේ ලාහෝර් හිදී පැවැත් වුනා.

    ඒ ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතරයි. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළා.

    ඒ අනුව ඕස්ට්‍රේලියාව පන්දු වාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 241ක් ලබා ගත්තා. මාක් ටේලර් ලකුණු 71යි. අරවින්ද ද සිල්වා කඩුලු 3ක් දවා ගත්තා.

    සිය ප්‍රථම ලෝක කුසලාන ජය සඳහා ලකුණු 242ක ජයග්‍රාහී ඉලක්කය හඹා යන්නට ශ්‍රී ලංකාවට සිදු වුනා. ලකුණු පුවරුව 23ක් වන විට එවකට නම් දරා සිටි ආරම්භක කසකරුවන් දෙපළ වූ සනත් ජයසූරිය හා රොමේෂ් කළුවිතාරණ නැවත ක්‍රීඩා ගාරයට පැමිණියා.

    කෙසේ වෙතත් තෙවැනි කඩුල්ලට ලකුණු 125ක් එක් කරමින් අසංක ගුරුසිංහ සහ අරවින්ද ද සිල්වා ශ්‍රී ලංකා ජයග්‍රහණයට අත්තිවාරම දැමුවා.

    අනතුරුව නායක අර්ජුන සමග එක්වූ අරවින්ද නොදැවී ලකුණු 107 ක් වාර්තා කරමින් ශ්‍රී ලංකා ජය තහවුරු කළා. අර්ජුන නොදැවී ලකුණු 47යි.

    තරග‍යේ වීරයා අරවින්ද ද සිල්වා. තරගාවලියේ වීරයා සනත් ජයසූරිය.

    මෙම තරගයට සහභාගී වූ ක්‍රීඩකයින් අතරින් සනත් ජයසූරිය සහ උපුල් චන්දන අද වන විට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙසින් කටයුතු කරනවා.

    චමින්ද වාස්, මුත්තයියා මුරලිදරන්, කුමාර ධර්මසේන,රොෂාන් මහානාම ඇතුළු අනෙකුත් ක්‍රීඩකයින්ද අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ ලෝක පූජිත සටහන් තබමින් සිටිනවා.

     

    Last modified on ඉරිදා, 17 මාර්තු 2024 14:27

    Latest News