අපරාජිත සිංහයෝ ලෝක කුසලාන දඩ බිමට

ජූලි 02, 2023

    ICC ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපර් සික්ස් වටයේ සත්කාරක සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර තරගය බුලවායෝ හි ක්වීන්ස් ස්පෝර්ට්ස් ක්ලබ් පිටියේ දී අවසන් වූයේ ශ්‍රී ලංකාවට කඩුලු 9ක ජයක් හිමි කර දෙමින්.


    මෙම ජයත් සමග 2023 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුනා.

    කාසියේ වාසිය හිමි කර ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි සිම්බාබ්වේ ඉනිම පන්දු වාර 32.2 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වුනා.


    දුෂ්මන්ත චමීර වෙනුවට කණ්ඩායමට එක් වූ දිල්ෂාන් මධුෂංඛ සිම්බාබ්වේ ඉනිමේ මුල් කඩුලු තුනේ හිමිකරු වූවා. මහේෂ් තීක්ෂණ පන්දු වාර 8.2 ක් යවා ලකුණු 25 කට කඩුලු 4ක් දවා ගත්තා. මතීෂ පතිරන කඩුල් 2ක් සහ නායක දසුන් එක් කඩුල්ලක් දවා ගත්තා.

    තරගාවලිය පුරා ලකුණු අතර සිටි ෂෝන් විලියම්ස් ලකුණු 56 ක් සිකන්දර් රාසා ලකුණු 31ක් ලබා ගත්තා. ඒ අනුව සිම්බාබ්වේ ඉනිම ලකුණු 165 කට සීමා වුනා.

    ලකුණු 166ක ඉලක්කය පන්දු වාර 33.1 කදී හඹා ගිය ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම වූයේ පැතුම් නිශ්ශංක. ඔහු නොදැවී ලකුණු 101 ලබා ගනිමින් සිය දෙවන ශතකය ලබා ගත්තා. දිමුත් කරුණාරත්න ලකුණු 30යි. කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 25යි.

    ඒ අනුව ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 169ක් ලබා ගනිමින් තරගය ජය ගත්තා. ශ්‍රී ලංකාව සහභාගි වන මීළඟ තරගය එළඹෙන 7 වනදා බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව හරාරේ හි දී පැවැත්වෙනවා.

    සුපිරි 6 වටයේ ලකුණු සටහන අනුව ශ්‍රී ලංකාව දළ ලකුණු +1.817ක් ලබා ගනිමින් පළමු ස්ථානයේ පසු වනවා.

    Latest News