චෙන්නායි සුපර් කිංස් පස්වන වරටත් IPL කිරුළ දිනයි

මැයි 30, 2023

    2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට මහේන්ද්‍ර සිං දෝණි නායකත්වය ලබාදුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අද අළුයම සමත්වුණා.

    ඒ, දක්වත් ලුවිස් න්‍යාය යටතේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම කඩුළු 05 කින් පරාජය කරමින්.

    මෙම තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම කඩුළු 04 ක් දැවී ලකුණු 214 ක දැවැත්න ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

    කෙසේවෙතත් චෙන්නායි කණ්ඩායම පන්දුවට පහරදීමට පැමිණීමත් සමග අහමදාබාද් ක්‍රීඩාංගනයට වර්ෂාව ඇදහැලීම හේතුවෙන් තරගය දිගු වේලාවක් නතර කර තැබීමට සිදුවුණා.

    ඉන් අනතුරුව තරගය නැවත ආරම්භ වූයේ රාත්‍රී 12 ට පමණයි.

    ඒ අනුව තරගය පන්දුවාර 15 කට සීමා කිරීමට තරග තීරකවරයා තීරණය කර තිබූ අතර චෙන්නායි කණ්ඩායමට පන්දුවාර 15 කදී ජයග්‍රහණය සඳහා ලකුණු 171 ක ඉලක්කයක් හිමිව තිබුණා.

    තරගයේ අවසන් පන්දුවාරයේ 05 වන සහ 06 වන පන්දුවලදී හයේ පහරක් සහ හතරේ පහරක් එල්ල කරමින් චෙන්නායි පිලට ජය අත්කර දුන්නේ රවීන්ද්‍ර ජඩේජායි.

    ඒ අනුව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අයි පී එල් ශූරතාව හිමිකර ගත් 05 වන අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වුණා.

    Latest News