අලි පෙත්සම උසාවියට

මැයි 22, 2024
    නීති විරෝධී ලෙස ඇත් දළ අත්පත් කර ගැනීමේ අරමුණින් මෙන්ම අලි මිනිස් ගැටුම හේතුවෙන් දිවයින පුරා සිදුවන අලි ඇතුන්ගේ මරණ වැළැක්වීම සඳහා නිසි වැඩපිළිවෙලක් සකස් කරන ලෙස වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයා හා පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (21) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා.

    ඒ පූජ්ය ආචාර්ය. ඕමල්පේ සෝභිත හිමියන්, ජනාධිපති නීතීඥ අනුර මැද්දෙගොඩ, ආචාර්ය අජන්තා පෙරේරා ඇතුළු පාර්ශව හතක් විසින්.

    නීතිඥ මංජුල බාලසූරිය මහතා මාර්ගයෙන් ගොනුකළ එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන, වන ජීවී අමාත්ය පවිත්රා වන්නිආරච්චි, මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස්, ආරක්ෂක රාජ්ය අමාත්ය ප්රමිත බණ්ඩාර තෙන්නකෝන්, මධ්යම පරිසර අධිකාරිය, පොලිස්පතිවරයා වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයා ඇතුළු 27 දෙනෙකු නම් කර තිබෙනවා.
     
    පෙත්සම්කරවන් කියා සිටින්නේ නීති විරෝධී ලෙස ඇත් දළ අත්පත් කර ගැනීමේ අරමුණින් සහ අලි මිනිස් ගැටුම හේතුවෙන් දිවයින පුරා වාර්ෂිකව සැළකිය යුතු අලි මරණ සංඛ්යාවක් වාර්තා වන බවයි.
    විවිධ පුද්ගලයින්ගේ නීති විරෝධී ක්රියා මෙන්ම රාජ්ය නිලධාරීන් රාජකාරිය ඉටු කිරීම පැහැර හැරීම මෙම තත්ත්වයට ප්රධාන වශයෙන් හේතු වී තිබෙන බවත් පෙත්සමේ චෝදනා කර තිබෙනවා.
    2011 වසරේ රජය විසින් සිදු කරන ලද අලි ඇතුන්ගේ සංගණනයට අනුව දිවයින පුරා අලි ඇතුන් 5,879 ක් සිටින බවට වාර්තා වී ඇති අතර ඊට වැඩිහිටි දළ ඇතුන් 55 දෙනෙකු ඇතුළත් වන බවත් පෙත්සමේ සඳහන්.
     
    එහෙත් පසුගිය කාලසීමාව තුළ විවිධ හේතුන් මත වාර්තා වූ අලි ඇතුන්ගේ මරණ හේතුවෙන් එම සංඛ්යාව මේ වන විට 2,500 සිට 4,000 දක්වා අඩු වී තිබිය හැකි බවත් පෙත්සම්කරවන් අනතුරු අඟවා සිටිනවා.
     
    වනජීවී හා වෘක්ෂලතා ආඥා පනත යටතේ අලි ඇතුන් පොදු දේපලක් වශයෙන් අර්ථකථනය කර තිබෙන අතර අලි ඇතුන් මරණයට පත් කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්රියාත්මක කිරීමට හැකියාව තිබෙන බව පෙන්වා දෙන පෙත්සන්කරුවෝ එහෙත් එම කාර්යය නිසි ලෙස ඉටු නොවන බවත් චෝදනා කරනවා.
     
    ඒ අනුව දිවයින පුරා සිදුවන අලිය ඇතුන්ගේ මරණ වැළැක්වීමට පියවර ගැනීම පැහැර හැරීම තුළින් වග උත්තරකරුවන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත්, පෙත්සම්කරුවෝ ශ්රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.
     
    ඊට අමතරව අලි ඇතුන්ගේ මරණ වැළැක්වීමට අවශ්ය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට සහ වන ජීවී අධ්යක්ෂ ජෙනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කරුවෝ මෙම කටයුතු සඳහා වනජීවී නිලධාරීන්ගේ සහායට නිසි පුහුණුව ලැබූ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් හා ත්රිවිධ හමුදාවේ නිලධාරීන් යොදවන ලෙස ආරක්ෂක අමාත්යාංශයට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටිනවා.
     
    ඊට අමතරව අලි මිනිස් ගැටුම හේතුවෙන් සිදුවන අලි මරණ අවම කිරීම සඳහා ජාතික වැඩපිළිවෙලක් සකස් කොට ක්රියාවේ යොදවන ලෙස වග උත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ වැඩිදුරටත් ශ්රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

    Latest News