ඝාතනයට ලක්වු 6 දෙ‍නාගේ අවමංගල්‍ය කැනඩාවේදීම

මාර් 10, 2024

    කැනඩාවේ ඔටාවාහි ඝාතනයට ලක්වු ශ්‍රී ලාංකිකයින් 6 දෙ‍නාගේ අවමංගල්‍ය එරටදීම සිදු කිරීමට නියමිත බව, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

    මේ අතර ඝාතනයට ලක්වූ ගාමිණී අමරකෝන් මහතාගේ දේහය ශ්‍රී ලංකාවට එවීමට පියවර ගන්නා ලෙස ඔහුගේ ඥාතීන් ඉල්ලීමක් කර  තිබෙනවා.

    කැනඩාවේ බෞද්ධ මහා සම්මේලනයේ අධ්‍යක්ෂ නාරද කොඩිතුවක්කු මහතා පවසන්නේ, මෙම අනපේක්ෂිත විපතට මුහුණ පෑ පවුලේ ධනුෂ්ක වික්‍රමසිංහ මහතා විසින් මියගිය සිය බිරිඳගේ සහ දරුවන්ගේ මරණ පරීක්ෂණ අවසන් වූ පසු අවමංගල්‍ය කටයුතු සංවිධාන කිරිම සඳහා ඔවුන් පදිංචිව සිටි බාර්හෙවන් ප්‍රදේශයේ විහාරස්ථාන වෙත බලය පවරා ඇති බවයි.

    මේ වෙනවිට ප්‍රතිකාර ලබමින් සිටින ධනුෂ්ක වික්‍රමසිංහ තවමත් දැඩි කම්පනයෙන් පසුවන බවද ඔහු සඳහන් කරනවා. මේ අතර කැනඩාවේ ඔටාවාහි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යලයේ නියෝජ්‍ය මහ කොමසාරිස් අන්සුල් ජාන් මහත්මිය ප්‍රකාශ කරන්නේ, අවමංගල්‍ය කටයුතු සඳහා එම පවුලේ ඥාතින් එරට වෙත පැමිණිමට නියමිත බවයි.

    ඝාතනයට ලක්වු ගාමිණී අමරකෝන් මහතාගේ දේහය ශ්‍රී ලංකාවට එවීමට පියවර ගන්නා ලෙස ඔහුගේ ඥාතීන් ඉල්ලා සිටින බවද නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය සඳහන් කළා.  

    Latest News