අවසන් මහා තරඟයට ගිය සිංහයින්

සැප් 15, 2023

    ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

    ඒ, පකිස්තානයට එරෙහිව ඊයේ පැවති තරගයෙන් ශ්‍රී ලංකාව තියුණු ජයක් ලබා ගනිමින්. තරගය පැවැත්වුණේ, කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී.

    අයහපත් කාලගුණයෙන් බාධා එල්ල වීම නිසා තරගය ආරම්භ කෙරුණේ, එක් ඉනිමක් පන්දුවාර 45 කට සීමා කරමින්. කාසියේ වාසිය දිනාගත් පකිස්ථාන නායක බාබර් අසාම් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ. කෙසේ වෙතත්, නැවතත් තරගයට අයහපත් කාලගුණයෙන් බාධා එල්ල වීමත් සමග එය පන්දුවාර 42 කට සීමා කෙරුණා. පකිස්ථානය නියමිත පන්දුවාර අවසානයේ කඩුලු 7 කට ලකුණු 252 ක් රැස් කළා. පකිස්ථාන ඉනිමේ 5 වැනි කඩුල්ල ලකුණු 130 දී දැවී ගිය අතර, මොහොමඩ් රිස්වාන් සමගින් ඉෆ්තිකර් අහමඩ් පකිස්තාන ඉනිම ශක්තිමත් කරමින්, ලකුණු 108 ක සබඳතාවක් ගොඩනැගුවා. ඉෆ්තිකර් අහමඩ් දැවී ගියේ ලකුණු 47 කටයි. දක්ෂ පිතිහරඹයක නිරත වූ මොහොමඩ් රිස්වාන් නොදැවී ලකුණු 86 යි.

    පන්දු යැවීමේදී මතීෂ පතිරණ කඩුලු 3 ක් දවා ගත්තා. ප්‍රමෝද් මධුශාන් කඩුලු 2 යි. මහේෂ් තීක්ෂණ සහ දුනිත් වෙල්ලාලගේ කඩුල්ල බැගින් දවා ගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 42 කදී ලකුණු 252 ක ඉලක්කයක් හිමි වුණා. ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ, කුසල් ජනිත් පෙරේරා සමගින් පැතුම් නිස්සංකයි. පළමු කඩුල්ල ලෙස කුසල් ජනිත් දුවද්දී දැවී ගියා. පැතුම් නිස්සංක දෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 29 ක් ලබා සිටියදී. පසුව පිටියට පැමිණි සදීර සමරවික්‍රම සමගින් කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකාව ජයග්‍රාහී මාවතට ගෙන ආවා. ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 100 ක සබදතාවක් ගොඩ නැගීමට සමත් වුණා. සදීර සමරවික්‍රම ලකුණු 48 යි. කුසල් මෙන්ඩිස් ලකුණු 91 ක් රැස් කළා. 4 වැනි කඩුල්ල ලෙස කුසල් දැවී ගියේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 210 ක්ව තිබියදී. අනතුරුව පිටියට පිවිසි දසුන් ශානක, ධනංජය ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ සහ ප්‍රමෝද් මධුශාන් ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගනිමින් පකිස්ථානය නැවතත් තරගයට අවතීරණ වුණා. කෙසේ වෙතත්, පරිනත ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ චරිත් අසලංක, තරගයේ අවසන් පන්දුවාරයේ, අවසන් පන්දුවේදී ශ්‍රී ලංකාවට ජයග්‍රහණය හිමි කර දුන්නා. චරිත් නොදැවී ලකුණු 49 යි. පන්දු යැවීමේදී ඉෆ්තිකර් අහමඩ් කඩුලු 3 ක් දවා ගත්තා. තරගයේ වීරයා කුසල් මෙන්ඩිස්. ඊයේ තරගයේ පන්දු යැවීම අතරතුරදී මහීෂ් තීක්ෂණ ආබාධයකට ලක් වුණා. ඔහු ස්කෑන් පරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුව ඔහු පිළිබඳව ඉදිරි තීරණයක් ගන්නා බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ. ශ්‍රී ලංකා කණ්ඩායමක් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේ, 11 වැනි වරටයි.

    Latest News