ක්‍රිකට් පිටියේ ද්වන්ධ සටන

සැප් 10, 2023

    ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 04 වටයේ ඉන්දියාව සහ පකිස්ථානය අතර තරගය අද පැවැත්වෙනවා.

    ඒ, කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. පළමු වටය යටතේ මෙම කණ්ඩායම් දෙක අතර පැවති තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවුණා.

    අද තරගය පස්වරු 03.00ට ආරම්භකිරීමට නියමිතයි. නිමාවූ එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට යොදාගත් තණතීරුව අද තරගය සඳහා සූදානම් කර තිබෙනවා. ඉන්දියාව සහ පකිස්ථානය අතර 2017 වසරේ සිට මේ දක්වා පවත්වා ඇත්තේ තරග 6ක් පමණයි. ඉන් තරග 4ක ජය හිමිකරගත්තේ ඉන්දියාවයි. පකිස්තානය එක් තරගයක් ජය ගත් අතර, අනෙක් තරගය වාර්ෂාව හේතුවෙන් අතහැර දැමුණා.

    දෙරට අතර මේ දක්වා එක්දින තරග 133ක් පවත්වා ඇති අතර ඉන් තරග 73ක ජය හිමිකරගත්තේ පකිස්තානය යි. තරග 55ක ජය ඉන්දියාව සතුවුණා. තරග 5ක් තීරණයකින් තොරව අවසන්වී තිබෙනවා. මේ වන විට පකිස්තානයට ලොව එක්දින ශ්‍රේණිගත කිරීම් අතර පළමු ස්ථානයත් ඉන්දියාවට තෙවැනි ස්ථානයත් හිමියි. මෙවර සුපිරි කණ්ඩායම් 4වටය යටතේ ඉන්දියාව අද සහභාගීවන්නේ සිය පළමු තරගයටයි.

    පකිස්තානය තමන් සහභාගීවූ පලමු තරගයෙන් බංග්ලාදේශය පරාජය කර ජය හිමිකරගැනීමට සමත්වුණා. අද තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවුවහොත් හෙට දිනයේදී ද යළිත් තරගය පැවැත්වීමට තරගාවලි සංවිධායකයින් තීරණය කර තිබෙනවා. සුපිරි කණ්ඩායම් 4 වටයේ අතිරේක දිනයක් ලබාදී තිබෙන්නේ මෙම තරගයට පමණයි. තරගාවලියේ අවසන් මහා තරගය ලබන 17වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතයි.

    Last modified on ඉරිදා, 10 සැප්තැම්බර් 2023 18:45

    Latest News