කප් එක උස්සා වසර 09 යි

අප්‍රේ 06, 2023

    ශ්‍රී ලංකාව 2014 අයිසීසී ලෝක විස්සයි20 ක්‍රිකට් කිරුළ දිනා ගත්තේ මීට වසර 09 කට පෙර අද වැනි දිනකයි.

    2014 අයිසීසී ලෝක විස්සයි20 ක්‍රිකට් තරගාවලිය බංග්ලාදේශයේ දී 2014 මාර් තු 16 සිට අප්‍රේල් 6 දක්වා පැවැත්වුනා. 1 වන කාණ්ඩයෙන් තරග වදිමින් දකුණු අප්‍රිකාව, නවසීලන්තය හා නෙදර්ලන්තය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිළිමළුන් පිටු දැකීමේ වටයට සුදුසුකම් ලබනවා.

    එහිදී අවසන් පූර්ව තරගය බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව එම තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 27 කින් ජය ගත්තා.

    දකුණු අප්‍රිකාව පරාජය කරමින් ඉන්දියාව ශ්‍රී ලංකාව සමග අවසන් තරගයට සුදුසුකම් ලැබුවා.

    බංග්ලාදේශයේ ඩකා හි ශරේ බංග්ලා ජාතික ක්‍රීඩාංගනයේදී 26000 කට අධික ප්‍රේක්ෂකයින් පිරිසකගේ සහභාගීත්වයෙන් අවසන් තරගය ආරම්භ වුනා.

    කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව දෙවැනි පන්දුවාරයේ දී පන්දුව අතට ගත් තුන් ඉරියම් ක්‍රීඩක ඇන්ජලෝ මැතිවුස් අජින්ක්‍යා රහනේගේ ඉනිම ලකුණූ 3කට නිමා කළා. අනතුරුව පිටියේ එක්වූ විරාට් කෝලි රෝහිත් ශර්මා සමග ලකුණූ 60ක සම්බන්ධතාවයක් ගොඩ නගමින් ඉන්දියාව නැවතත් තරගයට අවතීර්ණ කළා.

    නමුත් තරගයේ අවසන් පන්දු වාර කිහිපයේ ලසිත් මාලිංගගේ ප්‍රතිලෝම දෝලනය (Revers Swing) කළ පන්දු සහ නුවන් කුලසේකර නිසි එල්ලයට එල්ල කළ පන්දු හමුවේ ප්‍රවේගකාරී යුවරාජ් සිං සහ නායක ධෝනි අන්ත අසරණ වූවා. යුවරාජ් 21 කට මුහූණ දෙමින් ලබා ගත්තේ ලකුණූ 11ක් පමණයි. ධෝනි පන්දු 7 කදී ලබා ගත්තේ ලකුණු 4යි.

    සටන්කාමී පන්දු රැකීමක් සහ පන්දු යැවීමක නිරත වුනු ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉන්දීය ඉනිම ලකුණු 130 කට සීමා කළා. මැතිවුස්, කුලසේකර හා රංගන හේරත් එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

    පිළිතුරු ඉනිම ඇරඹු ශ්‍රී ලංකා පළමු කඩුල්ල ලෙස දෙවන පන්දු වාරයේදී කුසල් ජනිත් දැවී ගියා. අනතුරුව ඩිල්ෂාන් ලකුණූ 18ක්, මහේල ලකුණු 24ක් සහ තිරිමාන්න ලකුණු 7ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් කිරීමට ප්‍රභල ඉන්දීය පන්දු යවන්නන්ට හැකි වුනා. පන්දු වාර 12.3 ක් තුළ ලකුණු 78ක් ලබා කඩුලු 4ක් දැවී තිබියදී පිටියේ එක් වුනු කුමාර සංගක්කාර සහ තිසර පෙරේරා ශ්‍රී ලංකා ජය තහවුරු කළේ නොබිඳුනු වේගවත් ලකුණු 56ක සම්බන්ධතාවයක් පන්දු 32ක් තුළ ගොඩනගමින්.

    තරගයේ 17 වන පන්දු වාරයේ පස්වන පන්දුවට රවිචන්ද්‍රන් අශ්වින්ගේ හිසට ඉහළින් තිසර එල්ල කළ හයේ පහරකින් ශ්‍රී ලංකාවේ මංගල විස්සයි විස්ස ලෝක කුසලාන ජය වාර්තා වුනා.

    සංගක්කාර පන්දු 35කදී නොදැවී ලකුණු 52යි. තිසර පෙරේරා පන්දු 14 කදී වේගවත් ලකුණූ 23 ක් වාර්තා කළේ හයේ පහර 3ක් සමගින්. තරගයේ වීරයා කුමාර සංගක්කාර.

    Latest News