එහි එක් පියවරක් ලෙස පාසල් සිසුන් වෙත දියර කිරි වේලක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ රත්නපුර කජුවත්ත ශාස්ත්‍රෝදය විද්‍යාලයේ දී ආරම්භ කෙරිණි.
2025 වන විට ශ්‍රී ලංකාවේ දියර කිරි නිෂ්පාදනය ඉහළ දැමීම හා ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවිම යන අරමුණු පෙරදැරිව ජනාධිපතිතුමාගේ මඟපෙන්වීමෙන් ‘කිරෙන් සපිරි දැයක්’ තේමාව යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙයි. ශ්‍රී ලංකාවේ දිළිඳුකම තුරන් කිරීම උදෙසා ආරම්භ කළ ප්රමුඛ ව්‍යාපෘතියක් වන ග්රාමශක්ති ජනතා ව්‍යාපාරය යටතේ වැඩසටහන ක්‍රියාත්මක වන අතර ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පශූ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ඊට සහය දෙයි.
මෙම වැඩසටහනේ පළමු පියවර වශයෙන් පළමු වසරේ සිට පහ වසර දක්වා දරුවන් ලක්ෂ හතරකට දිනකට කිරි මිලි ලීටර් 150ක් ලබාදීම සිදු වන අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශයන්ට අනුව රස කළ කිරි වෙනුවට ප්‍රමිතිගත දියර කිරි පැකැට්ටුවක් ලබාදීම සිදු වෙයි. එමෙන්ම ඉවතලන කිරි පැකට් වෙනුවෙන් ප්‍රතිචක්‍රීකරණ වැඩසටහනක් ද ක්‍රියාත්මක වේ.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ නිරෝගීවත් සහ බුද්ධිමත් ජාතියක් රටක ජයග්‍රහණය බවයි. රටේ ජනගහනයෙන් සියයට 15කට ආසන්න ප්‍රමාණයක් මන්දපෝෂණයෙන් පෙළීම රටක් ලෙස යහපත් තත්ත්වයක් නොවන බව සඳහන් කළ ජනාධිපතිතුමා සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකිරීමේ අභියෝගයේ දී දේශීය දියර කිරි පරිභෝජනය ප්‍රචලිත කිරීම ඉතා වැදගත් බව ද පෙන්වා දුන්නේ ය.
එමෙන්ම ග්‍රාමීය කිරි ගොවියා ශක්තිමත් කිරීම තුළින් ග්‍රාමීය දුගී භාවය අවම කර යහපත් ආර්ථික වර්ධනයක් ලබා ගැනීම මෙම වැඩසටහනේ ප්‍රධාන ඉලක්කයක් බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.
පාසල් සිසුන් වෙත දියර කිරි වේලක් ලබාදීමේ ජාතික වැඩසටහන සඳහා 2019 වසර වෙනුවෙන් මේ වන විට රජය රුපියල් මිලියන 4000කට අධික මුදලක් වෙන් කර ඇති බව ද ජනාධිපතිතුමා පැවසීය. ජනාධිපති කාර්යාලය ඒ සඳහා රුපියල් මිලියන 1000කට වැඩි මුදලක් වැය කරන අතර කිරි පැකට් බෙදා හැරීමේ මූලික වගකීම කාර්ගිල්ස් සහ මිල්කෝ ආයතන විසින් දරනු ලබයි.
උත්සව සභාව අමතමින් අදහස් දැක්වූ ජනාධිපතිතුමා ...
“අපේ රටේ පසුගිය වසර 60ක් 70ක් ගතහොත් සෑම රජයක්ම දරුවන්ගේ පෝෂණය වර්ධනය කිරීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා. අපි කුඩා කාලෙත් පාසල්වලට කිරි වීදුරුවක් දුන්නා. එය ලැබුණේ ඇමරිකානු ආධාර යටතේ. මට මතකයි පාසලට කිරිපිටි ටින් ලොරියෙන් ගෙනත් බානවා අධ්‍යාපන කාර්යාලයෙන්. ඊට පස්සේ අපිට ඒ පිටිකිරි හදලා දෙනවා. ඒ වගේම මතකයි පාසල් දරුවන්ට අධ්‍යාපන අමාත්‍යාංශය බනිස් ගෙඩියකුත් දුන්නා. මේ වගේ සෑම රජයක්ම දීර්ඝ කාලයක් දරුවන්ගේ පෝෂණය සඳහා විශේෂයෙන්ම රටේ එක් පැත්තකින් තිබෙන දිළිඳුකම සැලකිල්ලට ගෙන මෙවැනි පුළුල් වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා. අද මේ පියවර ඒ සඳහා තවත් ශක්තිමත් අදියරක්.”
“අපේ රටේ ජනගහනයෙන් 14%ක් 15%ක් විතර මන්ද පෝෂණයෙන් පෙළෙන බව සෞඛ්‍ය විශේෂඥයන් වාර්තා කරනවා. එය රටකට හොඳ තත්ත්වයක් නෙවෙයි. ඒ නිසා එය සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකිරීමේ දී තිබෙන්නා වූ අභියෝගයක්. ඒ නිසා එහි මුල් පියවරක් තමයි දරුවා නිරෝගි දරුවෙක් කිරීම. දරුවන්ට අවශ්‍ය පෝෂණය ලබාදීම. මේ වැඩසටහනේ දී මම පැහැදිලිවම ප්‍රකාශ කරන්නට ඕනෑ අගමැතිතුමාත් අමාත්‍ය මණ්ඩලයත් අපි සියලු දෙනා රජය විදියට ගත් තීරණයේ දී 2019 වර්ෂය සඳහා 2025 වන විට දියර කිරි නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත වීම හා ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන්ගේ පෝෂණය සඳහා මම ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය .. මේ 2019 වර්ෂයේ අපි ගණන් හදලා තියෙන පැකට් ප්‍රමාණයත් එක්ක දවසකට රුපියල් මිලියන 22ක් පමණ වියදම් කරනවා. ඒ වගේම වාර්ෂිකව අපි පාසල් දින 200ක් කියලා ගණන් හැදුවොත් රුපියල් මිලියන 4400කට වැඩි මුදලක් මේ සඳහා වැය කරනවා. 2019 වසර සඳහා ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා අධ්‍යාපන අමාත්‍යාංශය රුපියල් 525ක්. දියර කිරි පැකටි සඳහා රුපියල් මිලියන 4000කට ආසන්න මුදලක් වෙන් කර තිබෙනවා. කිරි පැකට් ගබඩා කරන්න පාසල්වලට කබඩ්4000කට ආසන්න සංඛ්‍යාවක් දෙනවා. මේ ව්‍යාපෘතියේ 2019 වර්ෂය සඳහා වියදම රුපියල් මිලියන 4000කට වැඩියි. ජනාධිපති ලේකම් කාර්යාලය රුපියල් මිලියන 1000ක් කෝටි 100කට වැඩි මුදලක් වියදම් කරනවා. මේ කටයුතුවලට කාගිල්ස් හා මිල්කෝ ආයතන කිරි පැකට් බෙදාහැරීමේ මූලිකත්වය අරගෙන තියෙනවා. බස්නාහිර හා වයඹ පළාත්වල කාගිල්ස් ආයතනයත් අනෙකුත් සියලුම පළාත්වල මිල්කෝ ආයතනය… මේ විදියට තමයි ඒ ආයතනවල වගකීම් බෙදලා තිබෙන්නේ.”
“අපේ මේ වගේ වැඩපිළිවෙළක් කරන විට අඩුපාඩුකම් තිබෙන්න පුළුවන්. මේක පහසු කාර්යයක් නෙවෙයි. ඒ මොකද පළමු දේ තමයි දරුවාට දෙන කිරි පැකටි එකේ පිරිසිදුකම හා ප්‍රමිතිය ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ ගැන විශාල වගකීමක් තිබෙනවා ඒ අංශවලට. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් තමා ඒ කටයුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ප්රමුඛව අධීක්ෂණය කරන්නේ. ඒ නිලධාරීන් ඒ කටයුතු අත්‍යවශ්‍යව ඉටු කළ යුතු වෙනවා. ඒ වගේම අධ්‍යාපන අධ්යක්ෂවරු, පළාත් සභාව මේ කටයුත්ත සාර්ථක කරගන්න ඔබේ සෑහෙන අවධානයක් අවශ්‍යයි. ඒ අවබෝධයත් සමඟ ඒ අවධානය අවශ්‍යයි. මේ වගේ වැඩක් කරද්දි පොඩි ප්‍රශ්නයක් වුණත් ලොකු වරදක් වෙන්න පුළුවන් මාධ්‍ය තුළ. මොකද දරුවන්ගේ පෝෂණය, පිරිසිදුකම, නීරෝගීකම සමහර වෙලාවට මොනවාහරි අඩුපාඩුවක් සිදුවුණොත් ඒක බරපතළ විවේචනයක්, චෝදනාවක් එන කාරණයක්. අපි මෙවැනි වැඩපිළිවෙළක් අලුතෙන් පටන්ගන්න කොට ඒ සියලු තත්වයන් සැලකිල්ලට ගන්න ඕන. ඒ නිසා මම ඉතාමත් සතුටු වෙනවා දරුවන්ගේ පෝෂණය වර්ධනය කිරීම සඳහා මෙම ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට රජයේ සියලුම අංශවලින් හා පෞද්ගලික අංශවලින් ලැබෙන අනුග්‍රහය, දායකත්වය සහ සහයෝගය පිළිබඳව. ඒ වගේම මේ මැති ඇමතිවරු කවුරුත් ප්‍රකාශ කළ ආකාරයට ග්‍රාමීය කිරිගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කිරීම. අපේ රටට පිටරටින් ගෙනෙන කිරිපිටි වලට සහ කිරිවලට අදාළ අනෙකුත් ආහාර යෝගට්, චීස්, බටර් මේ සියල්ලම ගත්තාම වාර්ෂිකව විශාල මුදලක් අපි පිටරටට දෙනවා. එහෙම දෙන්න දෙන්න කිරිගොවියා දුප්පත් වෙනවා. ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්න ප්‍රධාන වෙනවා ග්‍රාමීය ගොවියා ශක්තිමත් කිරීම. කිරිගොවියා ශක්තිමත් කරලා පිටරටට යන විශාල මුදල අපේ කිරිගොවියාගේ සාක්කුවට එනවා නම් ඔවුන් කොයිතරම් ආර්ථිකය ශක්තිමත් කරගනීද. ඒ නිසා ග්‍රාමීය ණය බර, දුගී භාවය මේ ව්‍යාපෘතිය තුළ ප්‍රධාන ඉලක්කයක් තිබෙනවා යහපත් ආර්ථික වර්ධනයක් ඇතිකරගැනීම සඳහා. මේ සියලු තත්වයන් සැලකිල්ලට අරගෙනයි අපි මේ පුළුල් ජාතික ව්‍යාපාරය ගෙනියන්නේ. රජයක් විදියට රටේ සංවර්ධනයට දීලා තිබෙන දායකත්වය ඔබ සෑම කෙනෙක්ම දන්නවා.”
“මෙතැන අධ්‍යාපන ඇමතිතුමා ඉන්නවා, සෞඛ්‍ය ඇමතිතුමා ඉන්නවා, කිසිම රජයක් අපේ වර්තමාන රජය තරම් අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට වෙන් කරලා නැහැ. සෞඛ්‍ය, අධ්‍යාපනය තුළ තමයි රටක අනාගතය රැඳිලා තිබෙන්නේ. සෞඛ්‍ය සම්පන්න නීරෝගි ජාතියක්, උගත් බුද්ධිමත් ජාතියක් තමයි රටක ජයග්‍රහණය. ඒ නිසා අපි අතීත අත්දැකීම් එක්ක මේ කටයුතු සාර්ථක කළ යුතු වෙනවා. ඒ සඳහා ඔබ සෑම කෙනෙක්ගෙම සහය බලාපොරොත්තු වෙනවා. මීට සහය දුන්න ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂයෙන්ම ග්රාමශක්ති ව්‍යාපාරයටත් ස්තුතිවන්ත වෙනවා. ග්රාමශක්ති වැඩපිළිවෙළ දුගීභාවය තුරන් කිරීමටයි අපි හඳුන්වා දුන්නේ. අපි මේ සඳහා පුළුල් වැඩසටහන් රාශියක් සිදුකරගෙන යනවා. ඒ අතරේ ග්රාමශක්ති ව්‍යාපාරයත් දුගීබවෙන් ජනතාව නිදහස් කරගන්නවා. එහි එක් අංශයක් තමයි ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම වගේම දරුවන් නීරෝගී පිරිසක් බවට පත්කිරීම. ඒ නිසා ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, සියලුම පළාත් සභා ඇතුළු සියලු ආයතන මේ සඳහා දෙන අනුග්‍රහය මා ඉතාමත් අගය කරනවා. මම විශේෂයෙන්ම අධ්‍යාපන බලධාරීන්ගෙන් හා අදාළ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා මේ වැඩසටහනේ අඩුපාඩු සොයා බලන්න, ඒවා නිවැරදි කරන්න කියලා. මේ වැඩපිළිවෙළ ශක්තිමත් කරන්න කියලා ඉල්ලා සිටිනවා.”
“මේ පාසලේ තිබෙන අඩුපාඩුකම් කිහිපයක් පිළිබඳව දැනගන්නට ලැබුණා. පිට්ටනිය හදාගන්න ඕන කියලත් තිබුණා. තවත් උපකරණ කිහිපයක් ගන්න අඩුපාඩු තිබෙනවා කියලත් දැනගන්න ලැබුණා. මම ලබන සතියේ රුපියල් ලක්ෂ 25 ක් එවනවා ආණ්ඩුකාරතුමා මගින්. ඒ මඟින් අවශ්‍ය දේ ලබාගන්න. මම ඒ සහය දෙනවා. ”
මෙම උත්සව සභාව අමතමින් ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ අඩු පාඩු මඟ හරවා ගනිමින් දැයේ දරුවන්ගේ සහ ජාතියේ අනාගතය වෙනුවෙන් මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සියලුදෙනා සහයෝගයෙන් එක්වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
පාසල් දරු දැරියන් එක්දහස් පන්සීයක් පමණ පිරිසක් මේ සඳහා සහභාගී වී සිටි අතර මේ හා සමගාමීව කලවාන ප්‍රදේශයේ කිරි ගොවීන් සඳහා පහසුකම් රැසක් ලබා දීම ද ජනාධිපතිතුමා අතින් සංකේතවත් කෙරිණි.
අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, අකිල විරාජ් කාරියවසම්, පී. හැරිසන්, සබරගමුව පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක, දුනේෂ් ගන්කන්ද, අතුල කුමාර රාහුබද්ධ, භානු මනුප්‍රිය යන මහත්වරුන් ඇතුළු පළාතේ මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරින් ද, විදුහල්පතිවරු, ගුරුවරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.