ශ්‍රී ලංකාව වෙනුවෙන් නිවුන් ශතක ල‍‍ාභියෝ

මාර් 24, 2024

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර සිල්හෙට් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය අද අවසන් වූයේ ධනන්ජයද සිල්වා සහ කමිදු මෙන්ඩිස් ගෙන් ජගත් ටෙස්ට් ක්‍රිකට් පිටියට වාර්තා කිහිපයක්ම එක් කරමින්.


    අංක 07 පිතිකරු හෝ ඊට පහළින් ක්‍රීඩා කරමින් ටෙස්ට් තරගයක ඉනිම දෙකෙහිදීම ශතක රැස් කළ ලොව පළමු වැන්නා බවට පත් වීමට කමිඳු මෙන්ඩිස් අද සමත් වුනා.

    ටෙස්ට් තරගයක ඉනිම් දෙකෙහිදීම ලකුණු 150කට වඩා ලකුණු සබඳතා පැවැත්වූ ලොව තුන්වන පිතිකරුවන් යුගලය ධනා සහ කමිඳුයි.

    එක් කණ්ඩායමක ක්‍රීඩකයන් දෙදෙනෙකු ටෙස්ට් තරගයක ඉනිම් දෙකේදීම ශතක ලබා ගත් තෙවන අවස්ථාවද මෙයයි.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් එම දස්කම් කළ 6 වන සහ 7 වන ක්‍රීඩකයන් බවටද ඔවුන් දෙදෙනා සටහන් තැබුවා.

    වර්ෂ 1909 දී ඕස්ට්‍රේලියාවේ වොරන් බඩ්ස්ලි එංගලන්තයට එරෙහිව ප්‍රථම වරට මෙම දස්කම දක්වා තිබෙනවා.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් දුලිප් මෙන්ඩිස් පළමු වරට නිවුන් ශතක ලබා ගත්තා. ඒ 1982 දී ඉන්දියාවට එරෙහිවයි. ඉන් පසු

    2. අසංක ගුරුසිංහ (නවසීලන්තයට එරෙහිව 1991 දී),
    3. අරවින්ද ද සිල්වා (පකිස්තානයට එරෙහිව 1997 දී),
    4. තිලකරත්න ඩිල්ෂාන් (බංග්ලාදේශයට එරෙහිව 2009 දී),
    5. කුමාර සංගක්කාර (බංග්ලාදේශයට එරෙහිව 2013 දී) මෙම දස්කම දක්වා තිබෙනවා.

    කුමාර සංගක්කාර විසින් දෙවරක් නිවුන් ශතක ලබා තිබෙනවා. ඒ 2014 වසරේ නැවත බංග්ලාදේශයට එරෙහිවයි.

    ඒ අනුව ධනන්ජය සහ කමිඳු අද තරගයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම් දෙකෙහිම ශතක වාර්තා කළේ වසර 10 කට පසුවයි.

    Latest News