ඔස්ට්‍රේලියා මහ මැතිවරණය අද

මැයි 18, 2019

    ඔස්ට්‍රේලියාවේ මහ මැතිවරණය අදයි. ඉදිරි වසර කිහිපය සඳහා එරට අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජය තීරණය කෙරෙනුයේ, මෙම මැතිවරණයත් සමගයි.

    කෙසේ වුවද, පසුගියද දශකය තුළ අගමැතිවරු සිව්දෙනෙක් මහමැතිවරණ හේතුවෙන් බලයෙන් පහ කෙරිණ. මෙම මැතිවරණය ද එවැන්නක් බව, ඔස්ට්‍රේලියානු මාධ්‍ය ප්‍රකාශ කරයි. වත්මන් ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් කියා සිටියේ, පසුගිය මාස 9 තුළ තමන් පාලක කන්සර්වේටිව් පක්ෂය එක්සත් කිරීමට, සමත්ව ඇති බවයි. කෙසේ වෙතත් විපක්ෂයේ කම්කරු පක්ෂ නායක බිල් ෂෝට්න් වත්මන් අග්‍රාමාත්‍යවරයාට ප්‍රබල අභියෝගයක් එල්ල කරනු ඇතැයි වාර්තා වෙයි. ඔස්ට්‍රේලියාව තුළ ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්යවන අතර මේ වන විට මිලියන 16.4කට අධික පිරිසක් ඒ සඳහා ලියාපදිංචිව සිටියි.

    ඊයේ දිනයේ දී මිලියන 4.7කට ආසන්න ඡන්ද දායකයින් පිරිසක් පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීමට එක්ව සිටියි. වසර 3කට වරක් ඔස්ට්‍රේලියාව තුළ මැතිවරණ පැවැත්වෙන අතර 2007 වසරේ සිට මේ දක්වා කිසිඳු අග්‍රාමාත්‍යවරයෙක් තම ධූර කාලය සම්පූර්ණයෙන් නිමා කිරීමට සමත්වී නැහැ. ඡන්දය ප්‍රකාශ කිරීම එරට වේලාවෙන් පෙරවරු 8.00ට ආරම්භ වූ අතර එය පස්වරු 6.00ට අවසන්. රට පුරා ඡන්ද මධ්‍යස්ථාන 7000ක් පමණ පිහිටුවා ඇති බවයි, එරට මැතිවරණ කොමිසම සඳහන් කර ඇත්තේ.

    Last modified on සෙනසුරාදා, 18 මැයි 2019 12:05

    Latest News