ටයිටන් යාත්‍රාවේ කොටස් අතර මිනිස් අස්ථි කොටස්

ජූනි 29, 2023

    ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට සංචාරකයින් රැගෙන ගොස් ඒ ආසන්න ගැඹුරු මුහුදේදී පුපුරා ගිය ටයිටන් සබ්මසිබල් යාත්‍රාවේ කොටස් අතර තිබී මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමු වූ අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය ප්‍රකාශ කරනවා.

    පුපුරා ගිය ටයිටන් සබ්මසිබල් යාත්‍රාවේ සුන්බුන් කොටස් ඊයේ කැනඩාවේ ශාන්ත ජෝන්ස් නගරයේදී ගොඩගනු ලැබුවා.

    කැනඩාවේ ශාන්ත ජෝන්ස් නගරයේදී, ඊයේ ගොඩගනු ලැබූ ටයිටන් සබ්මසිබල් යාත්‍රාවේ සුන්බුන් අතර ගොඩබෑමේ රාමුව සහ පසු පස ආවරණයක් සොයා ගනු ලැබූ බව, බලධාරීන් පවසනවා. ‍ඒ අතර තිබූ මිනිස් අවශේෂ කොටස් පිළිබඳව අමෙරිකානු වෛද්‍ය විශේෂඥයින් විසින් විධිමත් විශ්ලේෂණයක් සිදු කර ඇති බවයි, අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ. එම බලකායේ සමුද්‍ර විමර්ශන මණ්ඩලය විසින් එහි වැඩිදුර විශ්ලේෂණයට සහ පරීක්ෂණ සඳහා ටයිටන් සබ්මසිබල් යාත්‍රාවේ පුපුරා යාම සම්බන්ධයෙන් වූ සියලුම සාක්ෂි අමෙරිකාවේ වරායක් වෙත මේ වන විටත් ප්‍රවාහනය කර ඇති බව, වාර්තා වනවා.

    අමෙරිකානු වෙරළාරක්ෂක බලකායේ සමුද්‍ර විමර්ශන මණ්ඩල ප්‍රධානී කපිතාන් ‍ “ජේසන් නොයිබවර්” ප්‍රකාශ කරන්නේ, සබ්මසිබල් යාත්‍රාවේ විනාශකාරී පිපිරීමට හේතු වූ සාධක අවබෝධ කර ගැනීමට මෙන්ම, එවැනි ඛේදවාචකයක් යළි සිදු නොවීමට වගබලබා ගැනීම සඳහා අදාළ සැලකිලිමත් විය යුතු කරුණු සම්බන්ධයෙන් අවබෝධ කර ගැනීමට සහ ඒ සඳහා කටයුතු කිරීමට එමගින් හැකි වන බවයි. මෙම සාක්ෂි සොයා ගැනීමට මෙන්ම, ඒවා සංරක්ෂණයට සම්බන්ධ වූ සියලුම ජාත්‍යන්තර සහ අන්තර් ආයතනික සහයෝගයට සිය කෘතඥතාව පළ කරන බවද, ඔහු පවසනවා.

    Latest News