යුක්‍රේනයේ, නැගෙනහිර ‍‍ප්‍රදේශ රැසක යුද ගැටුම් උග්‍රවෙයි

ජූලි 06, 2022

    යුක්‍රේනයේ, නැගෙනහිර ‍‍ප්‍රදේශ රැසක යුද ගැටුම් තවදුරටත් උග්‍ර වෙමින් පවතිනවා. නැගෙනහිරදිග ප්‍රාන්තයක් වන ඩොනෙට්ස්ක්හි ආණ්ඩුකාරවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ,   වහාම  එම ප්‍රදේශවලින් ඉවත්ව යන ලෙසයි.

    යුක්‍රේනයේ, නැගෙනහිර ප්‍රදේශ රැසක් මේ වන විට මුළුමනින්ම රුසියානු හමුදා යටතට  පත්ව තිබෙනවා.  ඔවුන්ට අත්පත් කර ගැනීමට ඉතිරිව ඇත්තේ,  ඩොනෙට්ස්ක් ප්‍රාන්තය පමණයි.  තවත් ප්‍රදේශ කිහිපයක් අර්ධ වශයෙන් රුසියානු හමුදාව යටත් කර ගෙන සිටින බවයි, වා‍ර්තා වන්නේ. මේ වන විට දරුණු ගැටුම් පවතින්නේ, ඩොනෙට්ස්ක් ප්‍රාන්තය අල්ලා ගැනීමටයි.

    තවදුරටත් තුන් ලක්ෂ 50 ,000 කට අධික සිවිල් වැසියන් පිරිසක් මෙම කලාපයේ රැඳී සිටිනවා. ප්‍රාන්ත ආණ්ඩුකාර පවුලෝ කිර්ලෙන්කෝ ප්‍රාන්ත වැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ, සිය ජීවිත රැක ගැනීමට පළාතෙන් ඉවත් වන ලෙසයි.  එමෙන්ම, සිවිල් වැසියන් ඉවත්ව යාම ප්‍රදේශය ආරක්ෂා කර ගැනීමට සටන් වදින යුක්‍රේන හමුදාවට වාසි සහගත තත්වයක් වනු ඇති බවද, ඔහු පවසනවා.

    රුසියානු - යුක්‍රේන යුද්ධය ආරම්භ වූ දින සිට යුක්‍රේන රජය වැඩිම පිරිසකට සමූහ ඉවත්වයාමේ නියෝගයක් නිකුත් කළ අවස්ථාවක් ලෙසයි, මෙය සැලකෙන්නේ. ජගත් සංවිධානයේ දත්තවලට අනුව  මේ වන විටත්, මිලියන 7.1 කට අධික යුක්‍රේන වැසියන් පිරිසක් අවතැන්ව සිටිනවා. තවත් මිලියන 5 කට ආසන්න පිරිසක් රටින් පලා ගොස් ඇති බවයි, වාර්තා වන්නේ.

    තවමත් රුසියාව සටන අතහැරීමට කිසිඳු සූදානමක් නොමැති බව, යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසනවා. රුසියානු ෂෙල්‍ වෙඩි  ප්‍රහාරයකින් අද ස්ලෝවියන්ස්ක් නගරයේ දෙදෙනෙකු මිය ගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව, විදෙස් වාර්තාවල සඳහන්. ප්‍රහාරය එල්ල වී ඇත්තේ වෙ‍ළඳපොළක් ඉලක්ක කර ගනිමින්.

    Latest News