දරුණු රෝග ලක්ෂණ නොපෙන්වන 'ඔමික්‍රෝන්'

නොවැ 30, 2021

    කොරෝනා වසංගතයේ නවතම ප්‍රභේදය වන ඔමික්‍රෝන්හි දරුණු රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බව, නව වෛරස ප්‍රභේදය හඳුනාගත් ඇන්ජලික් කුට්සී නම් දකුණු අප්‍රිකානු වෛද්‍යවරිය පවසයි.

    ඇතැම් රෝගීන්ට නිවසේ සිට ද ප්‍රතිකාර කළ හැකියි. අධික හිසරදය,ඇගපත වේදනාව මෙන්ම,අධික මහන්සිය ද මෙම ප්‍රභේදයේ මූලික රෝග ලක්ෂණයි.
    මේ මස මුල් භාගයේ ඇය හමුවට පැමිණි රෝගීන් බහුතරයකට එම රෝග ලක්ෂණ පැවති අතර ඒ පිළිබඳ බෝවන රෝග සම්බන්ධ විද්‍යා ආයතනය දැනුවත් කිරීමට ද ඇය ක්‍රියා කළා.

    අනතුරුව,එම රෝග තත්වයට හේතුව ඔමික්‍රෝන් ප්‍රභේදය බවට හඳුනා ගැනිණ. නමුත් මේ වන තෙක් ඔමික්‍රෝන් ප්‍රභේදය වැළඳුණු කිසිවෙකු මරණයට පත්ව නැති බවයි වාර්තා වන්නේ.

    මේ වන විට අප්‍රිකානු කලාපයට අමතරව කැනඩාව,බ්‍රිතාන්‍ය,පෘතුගාලය,බෙල්ජියම හා නෙදර්ලන්තය යන රටවලින් මෙම වෛරස ප්‍රභේද ආසාදිතයින් රැසක් හමුවී තිබේ.
    කෙසේ වුවද,කොරෝනා වෛරසය එක් වරක් වැළඳුනු පුද්ගලයෙකුට ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය පහසුවෙන් ආසාදනය විය හැකියි.

    සෙසු ප්‍රභේදයන්ගේ මූලික රෝග ලක්ෂණයක් වූ ගඳ සුවඳ නොදැනීම මෙම ප්‍රභේදය ආසාදනය වීමේ දී පෙන්නුම් නොකරන බව හඳුනාගෙන තිබේ. නමුත් ‍රටවල් රැසක විශේෂඥයන් පවසන්නේ, මෙම ප්‍රභේදය කොරෝනා මර්දන එන්නත්වලට ඔරොත්තු දෙන්නේ ද යන්න තවමත් සැක සහිත බවයි.

    Last modified on අඟහරුවාදා, 30 නොවැම්බර් 2021 11:11

    Latest News