ශතකයක් නොමැතිව ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාව

මාර් 31, 2024

    තම පළමු ටෙස්ට් ඉනිම 4දී ලොව වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ ක්‍රීඩකයාගේ ලෝක වාර්තාව සම කිරීමට කමිදු මෙන්ඩිස් අද සමත් වුණා.

    ඒ, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර, පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයේදී. තරගය පැවැත්වෙන්නේ, බංග්ලාදේශයේ චැටර්ග්‍රෑම් හිදී. අද තරගය ආරම්භකරන විට ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 04ක් දැවී ලකුණු 314ක් ලබා සිටියා.

    දිනේෂ් චන්දිමාල් තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ 26 වැනි අර්ධ ශතකය සමග ලකුණු 59ක් රැස් කළා. ධනංජය ද සිල්වා අද වාර්තා කළේ, තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ 14 වැනි අර්ධ ශතකයයි. ඔහු ලකුණු 70ක් ලබාගත්තා.

    කමිඳු මෙන්ඩිස් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ දෙවන අර්ධ ශතකය අද වාර්තා කළා. අඛණ්ඩව තුන්වන ශකතය ලබාගැනීමේ අවස්ථාව අවාසනාවන්ත ලෙස අහිමි වූ කමිදු, නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 92ක්.

    ඒ අනුව, මෙතෙක් ලොව ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සිය මුල් ටෙස්ට් ඉනිම 4 අවසානයේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවාගේ ලෝක වාර්තාව සම කිරීමට කමිදු සමත්වුණේ, ලකුණු 419ක් රැස් කරමින්. මීට පෙර එම වාර්තාව පාකිස්ථානයේ ජාවඩ් මියන්ඩාඩ් විසින් පිහිටුවා තිබුණා.

    මේ අතර, පිහිකරු ලයිස්තුවේ අංක 7 හෝ ඉන් පහළ ක්‍රීඩකයෙකු තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක වැඩිම ලකුණු රැස් කිරීමේ වාර්තාව ද කමිදු මෙන්ඩිස් අද තමන් සතු කරගත්තා. ඔහු මේවන විට ඉනිම තුනේදී ලකුණු 358ක් රැස් කරගෙන තිබෙනවා.

    ශ්‍රී ලංකාව පළමු ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 531ක් රැස් කළා. ශ්‍රී ලංකාව මෙහිදී වසර 48ක ලෝක වාර්තාවක් බිඳ හෙලුවේ තරගයකදී කිසිඳු පිතිකරුවෙකු ශතකයක් වාර්තා නොකර ඉනිමක ඉහළම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ කණ්ඩායම ලෙසයි.

    අනතුරුව තම පළමු ඉනිම ආරම්භ කළ බංග්ලාදේශය අද දිනය නිමා වන විට කඩුල්ලක් දැවී ලකුණු 55ක් ලබා සිටියා.

    Latest News