LPL විනය කැඩූ ක්‍රීඩකයන්ට දඩ

අගෝ 08, 2023

    පසුගිය අගෝස්තු 05 වැනි දා දබුල්ල අවුරා සහ කලම්බෝ කණ්ඩායම් අතර පැවැත්වුණු 8 වැනි තරගය අතරතුර LPL ආචාරධර්ම කඩ කිරීමේ වරද වෙනුවෙන් කුසල් මෙන්ඩිස්, චාමික කරුණාරත්න සහ හසන් අලී යන ක්‍රීඩකයින්ට දඩ සහ දඬුවම් ලකුණු නියම කර තිබෙනවා.

    ආචාරධර්ම සංග්‍රහයේ 2.21 වගන්තිය කඩ කිරීම නිසා දඹුල්ල අවුරා වේගපන්දු යවන ක්‍රීඩක හසන් අලී හට තරග ගාස්තුවෙන් 15%ක දඩයක් සහ එක් දඬුවම් ලකුණක් නියම කර ඇති බව වාර්තා වනවා.

    මේ අතර ආචාරධර්ම සංග්‍රහයේ එම වගන්තිය කඩ කිරීමේ වරද නිසාවෙන් ම දඹුල්ල අවුරා නායක කුසල් මෙන්ඩිස් හට ද තරග ගාස්තුවෙන් 10%ක දඩ මුදලක් සහ එක් දඬුවම් ලකුණක් නියම කර තිබෙනවා.

    එමෙන්ම චාමික කරුණාරත්න විසින් එල්පීඑල් ආචාරධර්ම සංග්‍රහයේ 2.6 වගන්තිය කඩ කිරීම නිසා ඔහුට තරග ගාස්තුවෙන් 30%ක දඩ මුදලක් ගෙවීමට සිදු වනවා.

    ඔහුට දඬුවම් ලකුණු දෙකක් නියම කර ඇති අතර, ඊට අමතරව 2.21 වගන්තිය කඩ කිරීම හේතුවෙන් ඔහුට තරග ගාස්තුවෙන් 25%ක දඩයක් සහ තවත් එක් දඬුවම් ලකුණක් ද නියම කර තිබෙනවා.

    මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පසුගිය අගෝස්තු මස 05 වැනි දා පැවැත්වුණු කලම්බෝ ස්ට්‍රයිකර්ස් සහ දඹුල්ල අවුරා අතර තරගයේදී හසන් අලී විසින් තරග විනිසුරුවරුන් සමඟ යම් බහින්බස් වීමකට යොමු වූ අතර, ඉන් මොහොතකට පසු කුසල් මෙන්ඩිස් සහ චාමික කරුණාරත්න දෙදෙනා අතර ද උණුසුම් කතාබහක් ඇති වුනා.

    මෙම දඩ සහ දඬුවම් ලකුණු ඒ වෙනුවෙන් ලැබී ඇති බව අනුමාන කළ හැකියි. මෙහි දී ඉහත නම් සඳහන් සියලු ක්‍රීඩකයින් විසින් සිය වැරදි පිළිගත් බවත් වාර්තා වනවා.

    Last modified on අඟහරුවාදා, 08 අගෝස්තු 2023 10:23

    Latest News