හබරණ මියගිය වන අලින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ තවදුරටත් (වීඩියෝ)

සැප් 29, 2019

    හබරණ රක්ෂිතයේ මිය ගිය වන අලින්ට පිටතින් විෂ වර්ගයක් ලබා දුන් බවට සාක්ෂි මෙතෙක් හමුව නැතැයි වනජීවී පශ්‍ර වෛද්‍යවරු පවති.

    මියගිය වන අලින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී එම සතුන්ට පිටතින් වෙනත් ආහාරයක් මගින් විෂ වර්ගයක් ලබා දුන්නේ යැයි සැක කිරීමට තරම් සාධකයක් මෙතෙක් සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණවලදී අනාවරණය නොවූ බව වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා අද(29) පැවසීය.

    මෙසේ මියගොස් සිටි වන ඇතින්නියන් ගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා කියා සිටියේ එක ඇතින්නියකගේ උදාරයේ කැකිරි ඇට කිහිපයක් තිබුණු බවත් අනිත් සෑම සතෙකුගේ ම උදරයේ තණකොළ පමණක් තිබුණු බවයි. වෙනත් පිටතින් ආහාරයක් ලබා දී ඇති සලකුණක් දැකගැනීමට නොහැකි බවද හෙතෙම සඳහන් කළේය.

    එම ආහාර තුලින් යම්කිසි විසක් ශරීර ගතවී උදරයට අධික ලේ වහනයක් සිදුව තිබුණු බව පරීක්ෂණයේදී දැකගත හැකිවූ බවද ඒ මහතා පැවසිය.

    එමෙන්ම බෙහෙවින් නරක් වී සිටී 28 දින හමු වන අලි මළසිරුර ඇතින්නියගේ බවට සැක කළ ද එසේ මියගොස් ඇත්තේ පිරිමි සතෙකු බවට සැක සිතිය හැකියැයිද චන්දන ජයසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    එමෙන්ම අද දින ද යුද හමුදාව වනජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව තවදුරටත් රක්ෂිතයේ සිට කලාවැව දක්වාම වන අලි මළසිරුරු ඇද්දැයි සොයා මෙහෙයුම් දියත් කොට තිබිණි.

    තුන්දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු 29දින වන විට වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුළු කණ්ඩායම විසින් සිදුකරන ලදී.

    රක්ෂිතය තුළ කිලෝමීටර් දෙකහමාරක පමණ දුරක් පයින් සහ ඔරුවලින් ගමන් කරමින් මෙම මියගොස් සිටි අලින් අසලට ලඟාවීමට පශු වෛද්‍ය කණ්ඩායමට හැකි විය.
    ඇතැම් අලි මළසිරුරු දැඩි ලෙස නරක් වී තිබීම නිසා පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු වලටද බාධා එල්ල විය. මෙදින සිද්ධිය වාර්තා කිරීම සහ සොයාබැලීම සඳහා දෙස් විදෙස් මාධ්‍ය කණ්ඩායම් සහ පරිසර සංවිධාන ද නියෝජිතයින් රැසක් එක්ව සිටීම විශේෂත්වයකි.

    වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා කියා සිටියේ නිශ්චිත වශයෙන්ම මියයෑමට හේතුව ප්‍රකාශ කළ හැක්කේ විද්‍යත්මක පරීක්ෂණයෙන් පසුව බවත් ඒ සඳහා අවශ්‍ය කොටස් රජයේ රස පරීක්ෂක නිලධාරීන් වෙත යැවීමට පියවර ගන්නා බවද සඳහන් කළේය.

    මේ පිළිබඳව රක්ෂිතය තුළ සංචාරකයන් හට නවාතැන් ආහාර පහසුකම් සපයන කිහිප දෙනෙකුම අප සමග කියා සිටියේ වන අලින් නිතර නිතර මෙම ප්‍රදේශයේ ගැවසෙන බවත් එහෙත් මෙවැනි ඛේදජනක තත්ත්වයක් කිසිදිනක වාර්තා වී නැති බවය. තම සංචාරක කර්මාන්තයට බෙහෙවින් උදව් කරන අලින් ආරක්ෂා කිරීම සඳහා තමන් නිතර කටයුතු කරන බවද ඔවුන් ප්‍රකාශ කළහ.

    Last modified on ඉරිදා, 29 සැප්තැම්බර් 2019 20:13

    Latest News