යාපනයේ පානීය ජල ප්‍රශ්නය විසඳීමට රජයෙන් පියවර

අගෝ 16, 2019

    2015 වසරෙන් පසුව යාපනය සහ උතුරු ප්‍රදේශයේ සංවර්ධන කාර්යයන් රැසක් සිදුවී තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධානරය කළේය.

    පසුගිය වකවානුවේ සිදුවූ අඩුපාඩු මකා ගනිමින් තවත් දැවැන්ත ඉදිරි පිම්මක් ගැනීමට ඇති බවත් ඔහු කියා සිටියේය. යාපනය නගරය යලිත් අතීතයේ මෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරයක් බවට පත් කිරීම තම අරමුණ බවත් වික්‍රමසිංහ මහතා මෙහිදි පෙන්වා දුන්නේය.

    අද (16) යාපනය දිසා ලේකම් කාර්යාලයේදී පැවති ප්‍රගති සමාලෝචන රැස්වීම අමතමින් වික්‍රමසිංහ මහතා පැවසුවේ යාපනය සංවර්ධනයේදී එළැඹෙන අනාගත අභියෝගයන් අතර, ජල සැපයුම මූලික ස්ථානයක් ගන්නා බවයි. ඒ නිසා දැන් සිටම ජලය පිළිබඳ ගැටළුව විසඳා ගැනීමේ ක්‍රමවේදයන් සකස් කළ යුතු බවද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
    විවිධ සංස්කෘතීන්ට අයත් වුවද ශ්‍රී ලාංකිකයන් ලෙස එකට එක්ව කටයුතු කිරීමේ වැදගත්කම ද අගමැතිවරයා මෙහිදි අවධාරණය කළේය.

    තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා.......

    උතුරු පළාත් සංවර්ධනයේ අපි ඉතා විශාල ප්‍රගතියක් ලබාගෙන තිබෙනවා. යාපනයට සංවර්ධන ව්‍යාපෘති රැසක් අපි ලබාදී තිබෙනවා. අද යාපනය දිස්ත්‍රික්කය සාමාන්‍ය තත්ත්වයට පත්වී තිබෙනවා. උතුරේ නැවත පදිංචි කිරීම් සඳහා ඉඩම් විශාල ප්‍රමාණයක් මේ වන විට නිදහස් කර තිබෙන අතර, තවත් ඉඩම් නිදහස් කිරීමට කටයුතු කරමින් සිටින බව කිව යුතුයි.

    යාපනය අර්ධද්වීපයේ ප්‍රධාන ප්‍රශ්නයක් ලෙස පානීය ජල ප්‍රශ්නය හඳුන්වා දිය හැකියි. එම ප්‍රශ්නය විසඳීම සඳහා අපි දැනටමත් කටයුතු කරමින් සිටිනවා. එමෙන්ම අවතැන්වූවන් නැවත පදිංචි කිරීමටත් නිවාස ප්‍රශ්නයට තිරසර විසඳුම් ලබාදීමටත් මේ වන විට පියවර ගෙන තිබෙනවා.

    මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිසාඩ් බදියුදීන්, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්, දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා, එම්. එම්. සුමන්තිරන්, ධර්මලිංගම් සිද්ධාර්ථන්, ශ්‍රී සරවණභවන්, උතුරු පලාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන්, යාපනය නගරාධිපති ආනෝල්ඩ් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.

     

    Latest News