ෂරියා විශ්ව විද්‍යාලයට අනුමැතිය නොදීමට තිරණයක්.....නීතියෙන්ම වැලකීමට පියවර - අගමැති රනිල් (වීඩියෝ)

මැයි 20, 2019

    නැගෙනහිර ෂරියා විශ්වවිද්‍යාලයට අනුමැතිය නොදීමටත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තිරණය කර තිබේ.

    නැගෙනහිර ෂරියා විශ්වවිද්‍යාලය සහ මද්‍රසා පාසැල් සම්බන්ධව මුස්ලිම් මන්ත්‍රීවරු සහ ඇමැතිවරු සමග දීර්ඝ ලෙස සාකච්ඡා කර ඔවුන්ගෙන් ලද යෝජනා තමන් ද අනුමත කරමින් ඔහු මෙම තිරණයට එලඹ ඇත. එ අනුව ෂරියා විශ්වවිද්‍යාලවලට අනුමැතිය නොදීමටත් මද්‍රසා අධ්‍යාපන ආයතන අධ්‍යාපන අමාත්‍යංශය යටතට ගෙන ක්‍රියාත්මක කිරීමටත් පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (20) අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව පැවසීය.

    නැගෙනහිර ෂරියා විශ්වවිද්‍යාලය සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිදු කරන ලද විමර්ශනයෙන් පසු සකස් කළ වාර්තාව ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී ආශූ මාරසිංහ මහතා අද (20) දින දහවල් අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම්වත් කලේය.

    තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා “ෂරියා විශ්වවිද්‍යාලයට අපි අනුමැතිය දෙන්නේ නැහැ. එහෙම බලයකුත් නැහැ. අපට හැකි වන්නේ උපාධි ආයතන අනුමත කිරීමට පමණයි. මෙය ෂරියා විශ්වවිද්‍යාලයක් ලෙස පවත්වාගෙන යා නොහැකි බවට නීතියෙන් ප්‍රකාශයට පත් කළ යුතුයි. මේ සඳහා විශ්වවිද්‍යාල පනතේ 9(අ) කොටස සංශෝධනය කළ යුතුයි. බංගලාදේශ නීතියට අනුව ඒ අය එය හඳුන්වන්නේ පුද්ගලික විශ්වවිද්‍යාල ලෙසයි. ආගම, කුලය ගැන සළකන්නේ නැතිව වෙනත් පිළිගත් පදනමක් මත ශිෂ්‍යයන් ඇතුළත් කළ යුතු බව එහි පස්වැනි වගන්තියේ සඳහන් වනවා.

    මේ අනුව මෙම කරුණු සහ පාලක මණ්ඩලය හා ඒ පාලක මණ්ඩලයේ සුදුසුකම් හා එහි වැඩකොටස් සිදු කිරීමට අවශ්‍ය කරුණු කිහිපයක් සංශෝධනයට ලක් කෙරෙනවා. එමෙන්ම මේ සම්බන්ධව පාර්ලිමේන්තුවෙන් ලැබෙන යෝජනා ද සළකා බැලිය යුතුයි. මීට අමතරව මද්‍රසා අධ්‍යාපන ආයතන අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක විය යුතු බවට තීරණය කර තිබෙනවා. එහි ඇතැම් වැඩකටයුතු ගැන අධ්‍යාපන අමාත්‍යංශය හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශය එකතුවී ක්‍රියා කිරීමට සිදුවේවි.

    මෙම කාරණා දෙක පිළිබඳව මුස්ලිම් මන්ත්‍රීවරු සහ ඇමැතිවරු යෝජනා ඉදිරිපත් කළා. ඔවුන්ගේ එම යෝජනා පිළිබඳව සාකච්ඡා කොට මා ද ඒවා අනුමත කළා. ඒ අනුව එයට සහයෝගය ලබාදෙනවා. මෙහිදී මා විශේෂ කාරණයක් සිහිපත් කිරීමට කැමැතියි. දැන් රටේ ආරක්‍ෂාව සාමාන්‍ය තත්වයට පත්ව තිබෙන බැවින් හෙට (21) දින සිට සියලූ පාසල් විවෘත වෙනවා. තමන්ගේ පාසලට පැමිණ අධ්‍යාපන කටයුතුවල නියැලෙන ලෙස සියලූ පාසල් දරු දැරියන්ගෙන් මා ඉල්ලා සිටිනවා.

    Last modified on සදුදා, 20 මැයි 2019 21:46

    Latest News