රට සාමකාමීයි..දරුවන් පාසල් යවන්න..අපේ වගකීම ඉටු කළා - යුද හමුදාපති

මැයි 17, 2019

    පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පිරිස වෙනුවෙන් විශේෂ දේව මෙහෙයක් බම්බලපිටිය ශාන්ත මරියා දෙව් මැදුරේදී අද (17) පැවැත්විණ.

    ඒ, අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මීට එක්වූහ.

    එහිදී අදහස් දැක්වූ මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ....

    “හැම මනුස්සයෙකුගේම ජිවිතය ආරක්‍ෂා කිරීමට අපි කටයුතු කළ යුතුයි. රජයක් පවතින්නේත් ඒ වැඩේටයි. හමුදාවක් පවතින්නේත් ඒ වැඩේටයි. පොලිසියක් පවතින්නේත් ඒ වැඩේටයි. හැම මනුස්සයෙක්ම රටේ නීති-රීති පවතින්නෙත් ඒ සඳහාමයි. ඒ නිසා මනුස්ස ජිවිතය නමැති වටිනාම සම්පත ආරක්‍ෂා කිරීම සඳහා අපි කැපවිය යුතුයි.

    ඇත්ත වශයෙන්ම අනුකම්පා කරනවා මේ මෝඩ මිනිසුන්ට. මිනිසුන්ගේ ජිවිත තුට්ටු දෙකක්වත් වටින්නේ නැති විධියට මරා දමන්නට, බිඳ දමන්නට, කඩා දමන්නට දරුවන්ගේ, තරුණ-තරුණියන්ගේ, වැඩිහිටියන්ගේ ජිවිත විනාශ කරන්නට වෛරයෙන් හදවත පුරවගත්තු මිනිස්සු පිරිසක් ගැනයි අපි කතාකරන්නේ. එදා ඒ, දේවස්ථානවල, ඒ හෝටල්වල මනුස්ස ජිවිතය තුට්ටුවකටවත් ගණන් ගන්නේ නැතුව, තමන්ගේම ජිවිතය පවා ගණන් ගන්නේ නැතුව ඒ මෝඩ මිනිසුන් කරපු වැඩේ ගැන අපි ඇත්තටම කණගාටුවට පත්වෙනවා. ජාතියක් වශයෙන් කම්පා වෙනවා ඔවුන් ගැන“ යැයි මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසීය.

    යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා...

    “අපේ රටේ සාමකාමී වාතාවරණයක් ඇතිවෙලා තියෙනවා. ඒ නිසා පැහැදිලිව වෙසක් කාලය තුළදී ඔබගේ එදිනෙදා කටයුතුවල යෙදෙන්න. 20 වැනිදා නිවාඩුවක් රජයෙන් දීලා තියෙනවා. 21 වෙනිදායින් පස්සේ දරුවෝ පාසල් යවන්න, රාජකාරිවලට යන්න එදිනෙදා ජිවිතය පවත්වාගෙන යන්න කිසිම ගැටලුවක් නැහැ. ඊට වඩා ජනතාව කෙරෙහි ශක්තිමත් විය යුතුයි. අපි ආදර්ශ විය යුතුයි වැඩිහිටියන් හැටියට. දරුවන්ටවත් පාසල් නොයා බයකරනවානම්, එතන ගැටලුවක් තියෙනවා. දෙමාපියන් මීටත් වඩා නායකත්වයක් ගත යුතුයි සිවිල් පුරවැසියන් හැටියට රටේ“ යැයි මහේෂ් සේනානායක මහතා පැවසීය.

    Last modified on සෙනසුරාදා, 18 මැයි 2019 09:46

    Latest News