හදිසි නීතිය යටතේ පිළිපැඳිය යුතු කරුණු...කඩකළොත් මාස 03 සිට වසර 20ක සිර දඬුවමක්

මැයි 17, 2019

    රට තුළ පවතින වාතාවරණය හමුවේ අවධානය යොමු කළ යුතු නීති රෙගුලාසි හා ඊට අදාළ වගන්ති කිහිපයක් කෙරෙහි රජය ජනතාවගේ අවධානය යොමු කර තිබේ.

    ඒවා උල්ලංඝනය කරන තැනැත්තෙකු වරදකරු වුවහොත්, මාස තුනේ සිට වසර 20 දක්වා බරපතල සිර දඬුවම් හා දඩයකට යටත්විය හැකි බව, අවධාරණය කෙරේ. හදිසි අවස්ථා, නියෝග, රෙගුලාසි යටතේ වන නීති හා විධිවිධානවලට අනුව ජනතාව බිය වැද්දිය හැකි හෝ කැළඹිය හැකි කටකතාවක් හෝ අසත්‍ය ප්‍රචාරයක් වචනයෙන් හෝ වෙනත් කවර ආකාරයිකින් සන්නිවේදනය කිරීම, ප්‍රචලිත කිරීම, පැතිරවීම නොකළ යුතුයි.

    එම රෙගුලාසි උල්ලංඝනය කරන තැනැත්තෙකු මහාධිකරණයේ දී හෝ මහේස්ත්‍රාත් අධිකරණයේ දී වරදකරු වුවහොත්, මාස තුනකට නොඅඩු හා වසර 05කට නොවැඩි බරපතල වැඩ සහිත සිර දඬුවමක් හා දඩයකට යටත්ව්ය හැකි බව රජය පෙන්වා දෙයි. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනත යටතේ වන විධිවිධානවලට අනුව කිසිදු තැනැත්තෙකු යුද්ධය පැතිරවීම හෝ එදිරිවාදිකම්වලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමු කිරීම සංයුක්ත වන වාර්ගික හෝ ආගමික වෛරයට පෙළඹවීම නොකළ යුතුවේ.

    ඒ සම්බන්ධයෙන් වරදකරු වන තැනැත්තෙකුට බරපතල වැඩ සහිත වසර 10ක සිර දඬුවම් නියම කළ හැකියි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධානවලට අනුව කියනු ලබන, වචන මගින් සංඥා මගින් දෘශ්‍ය නියෝජන මගින් හෝ අන්‍යාකාරයෙන් සාහසික ක්‍රියා හෝ වාර්ගික හෝ ආගමික කණ්ඩායම් අතර එදිරිවාදි හැඟීම් ඇතිවීමට සැලැස්වීම නොකළ යුතුයි. ඒ සම්බන්ධයෙන් මහාධිකරණයේ දී වරදකරුවෙකු වන අයට වසර 05 නොඅඩු හා වසර 20කට නොවැඩි සිර දඬුවම් නියම කළ හැකි බව රජය පවසයි.

    Latest News