ෂැන්ග්‍රීලා බෝම්බකරුගේ හා සහරාන්ගේ දියණියගේ ඩි. එන්. ඒ සාම්පල ගැළපේ

මැයි 17, 2019

    පාස්කු ඉරිදා ප‍්‍රහාරයේදී ෂැන්ගි‍්‍රලා හෝටලයේදි මරාගෙන මැරුණු බෝම්බකරුගේ ඞී එන් ඒ සාම්පල සහ එම ප‍්‍රහාරය මෙහෙය වූ බව කියන සහරාන් හෂිම්ගේ දියණියගෙන් ලබාගත් ඞී එන් ඒ සාම්පල එකිනෙක ගැලපෙන බව තහවුරු වේ.

    රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව මඟින් සිදු කෙරෙන පරීක්‍ෂණ වලදී මෙය තහවුරු වී ඇති බව පැවසේ.

    කෙසේවුවත් ඒ පිළිබඳ තවදුරටත් නිශ්චිතව තහවුරු කර ගැනීම සඳහා පරීක්ෂණ කටයුතු සිදුවන බව ද වාර්තා වේ. 

    ඒ සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ලැබී ඇති රුධිර සාම්පල තවදුරටත් පරීක්ෂාව සඳහා යොදා ගැනේ.

    අවසන් ඩී.එන්.ඒ වාර්තාව අද දවස ඇතුළත හෝ ඉදිරි සතියේ අඟහරුවාදා දින නිකුත් කරන බව පැවසේ.  

     

    අධිකරණය විසින් ලබාදුන් නියෝගයකට අනුව මෙම පරීක්‍ෂණය සිදු කෙරේ.‍

    ජාතික තවුහිත් ජමාද් සංවිධානයේ නායකයා වූ සහරාන් මොහොමඞ් කාසිම්ගේ ඞී එන් ඒ හඳුනාගැනීම සඳහා ඔහුගේ දියණියගේ (04) රුධිර සාම්පල ගෙන රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් ඉදිරිපත් කිරිමට කොළඹ අධිකරණ වෛද්‍යවරයාට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේ පසුගිය 10 වැනි දිනයි.

    මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදුකළ ත්‍රස්ත නායකයාගේ ශරීර කොටස් හිසකෙස් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ නියම ඉල්ලා සිටියේය. 

    බෝම්බ ප්‍රහාරය සිදු කළ ත්‍රස්තවාදී නායක සහරාන්ගේ බිරිඳ වන කාතන්කුඩි බෝම්බ පුපුරුවා හැරීමකදී තුවාල ලබා ප්‍රතිකාර ලබා සිටින අබ්දුල් කාදර් ෆාතිමා සාදියා සහ ඔහුගේ දියණිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින බවද එදින අධිකරණයට දැනුම් දෙනු ලැබීය.

    ෂැංග්‍රිලා හෝටලයේ සැකකරුවන්ට අයත් භාණ්ඩ වන පෝලෝ කැම් වර්ගයේ නිල් කලු පැහැති ටී ෂර්ට් 2ක්, ලැප්ටොප්හි බෑගයක්, කුඩා අරාබි අක්ෂර සහිත කුරානයක් පිලවුස් ෆස්ට් ඇන්ඩ් එෆ් ටී ඔරිජිනල් ලෙස නම් සඳහන් කර ඇති කවරයක බභා තිබූ බිත්තර රොටි තිබූ බව ද ඉටි කොළයක් සිම් කාඩ් රඳවන ඇඩප්ටරය ඇතුලු භාණ්ඩ තොගයක් අධිකරණයට ඉදිරිපත් කෙරිණ.

    මේ අතර, ගල්කිස්ස ටෙම්පල් පාරේ ඔවුන් නැවති සිටි බව කියන නිවසේ තිබූ භාණ්ඩ මෙන්ම කොළඹ 4 අංක 10 5/2 ශාන්ත අන්තෝනි මාවත නිවසේ තිබූ භාණ්ඩ තොගයක් ද රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් කැඳවන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමට මහේස්ත්‍රාත් වරයා අවසර ලබා දුන්නේය.

    මේ අනුව ඒවා පරීක්ෂා කර වාර්තාවක් යොමු කරන ලෙස මහේස්ත්‍රතාත් විසින් රජයේ රස පරීක්ෂ වරයා වෙත නියෝගයක් නිකුත් කළේය.

    එමෙන්ම ෂැංග්‍රිලා හෝටලයේ තිබි හමුවු රුපියල් 8330 ක් මුදලක් සහ ජංගම දුරකථන ඇතුලු අනෙකුත් භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම භාණ්ඩ රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවන්නැයි සිදු ඉල්ලීමට මහේස්ත්‍රාත් වරයා අවසර ලබා දුන්නේය.

     

     

     

    Last modified on සිකුරාදා, 17 මැයි 2019 11:53

    Latest News