සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරුගේ හිස කෝටිපති පියා හඳුනා ගනී......පරික්ෂණ CID යට

මැයි 16, 2019

    ජාතික තවුහිත් ජමාද් සංවිධානයේ සාමාජික කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ බෝම්බයක් පුපුරුවා මියගිය දෙමටගොඩ පදිංචි ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ්ගේ හිස කොටස් ඔහුගේ පියා වන ව්‍යපාරිකයකු වන ඊබ්‍රාහිම් ඉන්සාම් අහමඩ් විසින් හඳුනා‍ගෙන තිබේ.

    මේ අතර මරණකරුගේ මාමණ්ඩිය වන කේ පී අලව්ඩීන් යන අය හඳුනාගත් බව කොල්ලුපිටිය පොලිසිය අද කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා වෙත දැනුම් දෙනු ලැබිණ.

    මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදු කළ ත්‍රස්ත නායකයාගේ ශරීර කොටස් හිසකෙස් ඇතුලු කොටස් අධිකරණය වෛද්‍ය නිලධාරී කාර්යාලයට භාර දුන් බවද පොලිසිය අධිකරණයට දන්වා සිටියේය. ත්‍රස්තවාදියෙකු වන ඉල්හාම් අහමඩ් නැමැත්තා ගේ ඞී එන් ඒ හඳුනා ගැනීමට ඔහුගේ ඥාතීන්ගේ රුධිර සාම්පල රජයේ රස පරීක්ෂක වෙත යොමු කර වාර්තාවක් ඉදිරිපත් කිරිමට කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීයාට මහේස්ත්‍රාත්වරයා පසුගිය නඩු දිනයේ නියෝගයක් කළ බව කොල්ලුපිටිය පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

    සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ බෝම්බ ප්‍රහාරය කළ සැකකරු සහ අනෙක් පුද්ගලයන්ට අයත් මේ වන විටත් හදුනානොගත් භාණ්ඩ පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් විදේශීය ජාතිකයන් 13 දෙනෙකු ඇතුළුව 22ක් මියගොස් ඇති බවත් විදේශ ජාතිකයන් 17ක් තුවාල ලබා ඇති බවත් අධිකරණයට දන්වා සිටියේය. පොලිසිය තුවාල ලැබූ අයගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇති බවත් අධිකරණයට දැනුම් දිනී. බෝම්බ ප්‍රහාරයෙන් මියගිය විදේශීය ජාතිකයන්ගේ මළ සිරුරු ඔවුන්ගේ ඥාතීන් වෙත මූදා හැර ඇති බව අධිකරණයට දන්වා සිටි කොල්ලුපිටියේ පොලිසිය පොලිස්පතිවරයාගේ නියෝග මත ඉදිරි විමර්ශන රහස් පොලිසියට භාර දී ඇති බවත් කියා සිටියේය.

    සිද්ධියට අදාළව වැඩිදුර විමර්ශන පවත්වා ලබන ජුනි මස 12 වනදා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

    Latest News