ජපාන අ‍ායෝජකයින්ට ජනපතිගෙන් ඇරයුම්

මැයි 27, 2023

    ශ්‍රී ලංකාවේ නව ආයෝජන සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන ආයෝජකයින්ට ආරාධනා කළා.

    ‍අයෝජකයින්ට වඩාත් සුබවාදී ව්‍යාපාර පසුබිමක් රට තුළ නිර්මාණය කිරීමට, මෑත කාලීනව රජය වැදගත් පියවර රැසක් ගෙන ඇති බවයි, ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

    ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය සහ ජපාන ආයෝජන සඳහා ඇති අවස්ථා යන මැයෙන්, ටෝකියෝ නුවරදී පැවති ව්‍යාපාරික වට මේස සාකච්ඡාවට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියා. ජපානය සහ ශ්‍රී ලංකාව අතර, ආර්ථික සහ‍යෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින් ජෙට්රෝ ජපාන - ශ්‍රී ලංකා ව්‍යාපාරික සහ‍යෝගීතා සංගමය සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව මෙම හමුව සංවිධාන කළා. ශ්‍රී ලංකාවේ ඇති නව ආයෝජන අවස්ථා පිළිබඳ පැහැදිලි කළ වික්‍රමසිංහ මහතා, මෙරට ආර්ථිකය ස්ථාවර කිරීමේ සහ විවෘත කිරීමට ගෙන ඇති නව ප්‍රතිසංස්කරණවාදී වැඩපිළිවෙළ මෙන්ම, ඒ සඳහා වූ සිය කැපවීම අවධාරණය කළා. අත්‍යවශ්‍ය ආර්ථික හවුල්කරුවෙකු ලෙස ජපානයේ වැදගත්කම ශ්‍රී ලංකා‍ව හඳුනාගෙන අවසන්. දෙරට අතර සහයෝගීතාව තවදුරටත් ඉහළ නංවා ගැනීමෙන් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ රැසක් ලබා ගත හැකි බවයි, ජනාධිපතිතුමා පැවසුවේ. ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම සහ නිපුන ශ්‍රමබලකාය, ජපාන සමාගම්වලට කලාපය තුළ සිය මෙහෙයුම් පුළුල් කිරීමට දොරටු විවර කරනු ඇතැයි ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කර ගනිමින් තිරසර ආර්ථික වර්ධනයක් අත් කර ගැනීමේ ජනාධිපතිවරයාගේ කැපවීම මෙම ව්‍යාපාරික වට මේස සාකච්ඡාවේදී තහවුරු කෙරුණා. ...2.

    අප ලෝක ආර්ථිකය සමග ගමන් කළ යුතුයි කියා ශ්‍රී ලංකාව තේරුම් ගත යුතුයි. අප දැන් එය තේරුම් ගනිමින් සිටිනවා. ලෝක ආර්ථිකයේ නියමයන් අපටත් අදාළයි. ඉන් මිදෙන්න අපට බැහැ. පළමුව ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගත යුතුයි. ඒ අනුව, ජනතාවට අනාගතයක් ලැබෙනවා. එසේ කිරීමට අපේ පළමු පියවර ජපානය ‍වෙත යොමු වෙනවා. වරින් වර ජපානය ඉතා කාරුණික ලෙස අපට උදව් කර තිබෙනවා. අගමැති ෂින්සෝ අබේ මහතාගේ සමයේ මම ඔහු සමග සාකච්ඡා පැවැත්වූවා, ව්‍යාපෘති කිහපයක් සම්බන්ධයෙන්. වඩාත් ප්‍රසිද්ධ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය, ඊලඟට මධ්‍යම අධිවේගයේ තුන්වැනි අදියර. ඒ වගේම කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය. මේ ව්‍යාපෘති සියල්ල පසුව අවලංගු කෙරුණා. සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අවලංගු කෙරුණේ, කැබිනට් මණ්ඩලයටවත් නොදන්වා තනි නිලධාරියෙකුගේ මතයට. ඉන් සිදුවූ හානිය වුණා. විශ්වාසය බිඳ වැටුනා. අපි දැන් මොකද කරන්නේ? කැබිනට් මණ්ඩලය එකඟතාවකට ආවා මෙවැනි දේවල් කිසිදු රජයක් යටතේ සිදු නොවිය යුතුයි කියල. අප නව නීති හඳුන්වා දෙනවා. මහා පරිමාන ව්‍යාපෘති පිළිබඳ ගිවිසුම් අත්සන් කළ විට එය අනාගතයේදී පාර්ලිමේන්තුවේ සභා ගත කළ යුතුයි. එහි ක්‍රියාත්මක භාවය ගැන වාර්ෂික වාර්තා මගින් පාර්ලිමේන්තුව දැණුවත් කළ යුතුයි. ඒ වගේම, ව්‍යාපෘතියට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ගේ එකඟතාව නොමැතිව අදාළ ගිවිසුමේ කිසිදු වෙනසක් කළ නොහැකියි. මේ නව නීතිරීති අනුව, කිසිදු රජයකට යම්කිසි කණ්ඩායමක් ලබා දෙන උපදෙස් මත පමණක් පදනම්ව ව්‍යාපෘති ගැන තීරණ ගැනීමට නොහැකි වනවා. ආයෝජන ගැන සැලකූ විට එම ක්‍රියාවලියට අදාළ නීතිරීති අප රටේ තිබෙනවා. එහෙත්, මා බලාපොරොත්තු වන්නේ, නව නීති රෙගුලාසි කිහිපයක් හඳුන්වා දී එම ක්‍රියාවලිය ශක්තිමත් කිරීමටයි. අපි ශ්‍රී ලංකාවේ සියලු ක්‍රියාවලීන් පිළිබඳව යළි සළකා බලනවා.

    නිලධාරීවාදය තොර කිරීමේ වැඩපිළිවෙළ යටතේ ඇතැම් නීතිරීති ඉවත් කොට ආයෝජන ක්‍රියාවලිය ඉදිරියට යාමට හා නියමිත කාලසීමාව තුළ එය ක්‍රියාත්මක කිරීමට ඉඩකඩ සැලසෙනවා. අප රටේ ආයෝජන මණ්ඩලය හා අපනයන සංවර්ධන මණ්ඩලය යන ආයතන තිබෙනවා. ඒවා සියල්ල එක් කරමින්, තනි ආර්ථික සංවර්ධන කොමිසමක් බිහි කරනවා. ඒ අනුව, ඉතා ඉක්මණින් තීන්දු තීරණ ගැනීමට හා නීතිරීති ක්‍රියාත්මක කළ හැකියි. මම අපනයන සංවර්ධනය හා ආයෝජන ප්‍රවර්ධනය තනි ඒජන්සියක් යටතට ගෙන ඒමට අපේක්ෂා කරනවා.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, වියට්නාම නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ට්‍රාන් ලූ ‍ක්වාං මහතා සමග ද සාකච්ඡාවකට එක් වුණා. වියට්නාම නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා, “නිකෙයි” ජාත්‍යන්තර සමුළුව ඇමතීම සඳහා ජපානයට පැමිණ සිටිනවා. ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සහ සංස්කෘතික සබඳතා වැඩිදියුණු කිරීම පිළිබඳව සාකච්ඡාවේදී අවධාන‍ය යොමු වුණා.

    මේ අතර, ජපානයේ ඩිජිටල්කරණය පිළිබඳ අමාත්‍ය ටාරෝ කොනෝ මහතා සමග සාකච්ඡාවකට ද රනිල් වික්‍රමසිංහ මහතා එක් වුණා. ශ්‍රී ලංකා රජයේ ඩිජිටල්කරණ ප්‍රයත්නය පිළිබඳ කරුණු පැහැදිලි කරනු ලැබූ අතර, ඩිජිටල් පරිවර්ථන වැඩසටහන් සම්බන්ධයෙන් දෙරට අතර සහ‍යෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව ද අවධානය යොමු වුණා.

    මේ අතර, ජනාධිපති රනිල්වික්‍රමසිංහ මහතා ජපාන - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය සමග හමුවකට එක් වුණා.

    Latest News