නව ආයෝජන සඳහා ජනපතිගෙන් ජපාන ආයෝජකයින්ට ආරාධනා

මැයි 26, 2023

    ශ්‍රී ලංකාවේ නව ආයෝජන සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන ආයෝජකයින්ට ආරාධනා කර තිබෙනවා.

    ‍අයෝජකයින්ට වඩාත් සුබවාදී ව්‍යාපාර පසුබිමක් රට තුළ නිර්මාණය කිරීමට, මෑත කාලීනව රජය වැදගත් පියවර රැසක් ගෙන ඇති බවයි, ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.  ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය සහ ජපාන ආයෝජන සඳහා ඇති අවස්ථා යන මැයෙන්, ටෝකියෝ නුවරදී පැවති ව්‍යාපාරික වට මේස සාකච්ඡාවට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියා.

    ජපානය සහ ශ්‍රී ලංකාව අතර, ආර්ථික සහ‍යෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින් ජෙට්රෝ ජපාන - ශ්‍රී ලංකා ව්‍යාපාරික සහ‍යෝගීතා සංගමය සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව මෙම හමුව සංවිධාන කළා. ශ්‍රී ලංකාවේ ඇති නව ආයෝජන අවස්ථා පිළිබඳ පැහැදිලි කළ වික්‍රමසිංහ මහතා, මෙරට ආර්ථිකය ස්ථාවර කිරීමේ සහ විවෘත කිරීමට ගෙන ඇති නව ප්‍රතිසංස්කරණවාදී වැඩපිළිවෙළ මෙන්ම, ඒ සඳහා වූ සිය කැපවීම අවධාරණය කළා.

    අත්‍යවශ්‍ය ආර්ථික හවුල්කරුවෙකු ලෙස ජපානයේ වැදගත්කම ශ්‍රී ලංකා‍ව හඳුනාගෙන අවසන්. දෙරට අතර සහයෝගීතාව තවදුරටත් ඉහළ නංවා ගැනීමෙන් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ රැසක් ලබා ගත හැකි බවයි, ජනාධිපතිතුමා පැවසුවේ. ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම සහ නිපුන ශ්‍රමබලකාය, ජපාන සමාගම්වලට කලාපය තුළ සිය මෙහෙයුම් පුළුල් කිරීමට දොරටු විවර කරනු ඇතැයි ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.  ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කර ගනිමින් තිරසර ආර්ථික වර්ධනයක් අත් කර ගැනීමේ ජනාධිපතිවරයාගේ කැපවීම මෙම ව්‍යාපාරික වට මේස සාකච්ඡාවේදී තහවුරු කෙරුණා.

    Latest News