ඉල්ලා අස්කරගත් පෙත්සම

මැයි 22, 2023

    පසුගිය වසරේ මැයි 9 වැනිදා දිවයිනපුරා මැති ඇමතිවරු ඇතුළු දේශපාලනඥයින්ගේ නිවාස දේපළ ගිනි තබා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත් වන ලෙස ඉල්ලා අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ඇතුළු පිරිසක් ගොනු කර තිබූ පෙත්සමක් අද ඉල්ලා අස් කර ගත්තා.

    පෙත්සම ගොනු කර තිබුනේ, අභියාචනාධිකරණය හමුවේ.

    පෙත්සම අද කැදවූ අවස්ථාවේ, මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය, අධිකරණය හමුවේ කරුණු දක්වමින් මැයි මස 9 වැනිදා ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට පියවර ගන්නා බවට සිය සේවා දායකයා දැනුම් දී ඇතැයි, දන්වා සිටියා.

    එම කරුණ සම්බන්ධයෙන් සෑහීමකට පත් වන බව, සඳහන් කළා පෙත්සම්කාර පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා, අදාළ පෙත්සම ඉල්ලා අස් කර ගැනීම සඳහා අවසර දෙන ලෙස ඉල්ලා සිටියා.

    අදාළ පෙත්සමේ වග උත්තරකරු වශයෙන් නම් කර සිටි යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා මහතා‍ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ‍ෆයිස් මුස්තාපා මහතා, ඊට විරෝධය පළ කළා.

    කෙසේ වෙතත්, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ මරික්කාර් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම ඉල්ලා අස් කර ගැනීමට අවසර දුන්නා.

    මැයි මස 9 වැනිදා ඇති වූ සිද්ධීන්වලින් පීඩාවට පත් දේශපාලනඥයින් 39 දෙනෙකු විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

    Latest News